ප්‍රමාද නොවී අප්‍රමාද වෙමු

අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් “ප්‍රමාද නොවී අප්‍රමාද වෙමු” යන මැයෙන් පවත්වන ලද දහම් දෙසුමක් ඇසුරින් සකසන ලද සම්පිණ්ඩනයකි.  

සාරංශය

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මිනිසුන්හට මෙලොව අරුතත්, පරලොව අරුතත් යන දෙකම අත්පත්කර ගැනීම සඳහා වන ඒකායන මාර්ගයක් තිබේද? එසේනම් එය කුමක්ද?” යනුවෙන් කොසොල් මහ රජතූමා විසින් නගන ලද පැනයකට පිළිතුරු වශයෙන් බුදුරජානන් වහන්සේ “එවන් ඒකායන මාර්ගයක් තිබේය මහරජ, එය අප්පමාදය නමි” යනුවෙන් පවසා මෙම අප්පමාද සූත්‍රය වදාල සේක.  

“පා ගමනින් යන සියලුම සතුනගේ පා සටහන්, ඇතෙකුගේ පා සටහනක්තුල බහාලියහැකිවාක් මෙන්, මෙලොව දියුණුව, පරලොව සුගතිය සහ කෙළවර නිවන් සුවයද ලබාගැනීම පිනිස යම්තාක් කුසලධර්ම හේතුවෙත්ද, ඒ සියල්ලම අප්‍රමාදය නැමැති එකම දහම්පදයෙහි ඇතුලත්වන්නේය” යනුවෙන් පැහදිලි කල සේක.  

මෙලොව මිනිසුන් දීර්ඝායුෂ, නිරෝගි සුවය, ගුණ වර්ණාව, දෙව්ලොව සැප, ගේ දොර, වතුපිටි, වාහන, ආදිය පතති. මේවා ලෞකික දේවල් බැවින් තෘෂ්ණාවට අරමුණුය. මේවා අවශ්‍ය වන්නේ, දන්, සිල්, භාවනා ආදී කුසල් කරමින්, දස පාරමිතා වඩමින්, නිවන් මගට පිවිසීමය.   

අපගේ සර්වඥයන් වහන්සේ දිනකට තෙවරක්ම, “මහණෙනි, බුදු සසුනත්, මිනිසත්බවත්, ක්‍ෂණ සම්පතත්, සාසන පැවිද්දත්, සද්ධර්මයත්, කළණමිතුරු සම්පතත් යන සියල්ල, දුර්ලභ නමුත් එක්තැන්ව ලැබි ඇති බැවින්, එළැඹ සිටි සිහියෙන් යුතුව පිළිවෙත් පුරත්වා” යනුවෙන් මෙම අප්‍රමාද පදයෙන් අනුශාසනා කළසේක. මෙය සුගතෝවාදය නමි.   

අට්ඨ කථාවේ අප්‍රමාදය යනු සිහිය අමතක නොවීම ලෙස සඳහන්වේ. එනම්, එළඹසිටි සිහි ඇති බව, අප්‍රමාදයයි.  ඛුද්දකවත්ථු විභංගයෙහි ප්‍රමාදය මනාසේ විග්‍රහ කොට ඇති අතර, ඒවායේ විරුද්ධ අර්ථය අප්‍රමාදය ලෙස දක්වා ඇත. 

  • තිදොරින් (සිත, කය, වචනයෙන්) සිදුවන අකුසල්වලින් වැලකීම  
  • පසිඳුරන් පිනවීම කෙරෙහිම සිත යොමු නොකිරීම  
  • දස පුණ්‍යක්‍රියා  
  • දස කුසල කර්මපථ  
  • දස පාරමී ධර්ම    
  • සතර බ්‍රහ්ම විහරන  
  • සතර සංග්‍රහ වස්ථූන් (දානය, ප්‍රිය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවය)   
  • කරණීය ධර්ම 14 සහ අකරණීය ධර්ම 01   
  • මහා මංගල ධර්ම 38  
  • සතිපට්ඨානාදී බෝධි පාක්‍ෂික ධර්ම 37  

ආදියෙහි එළැඹැසිටි සිහියෙන් යුතුව පිළිවෙත් නැවත, නැවත පිරීම, අප්‍රමාදය නමි.  

පරමාර්ථ ධර්මවලට අනුව, අප්‍රමාදය යනු ප්‍රධාන වශයෙන් සති චෛතසිකයයි. සති චෛතසිකයෙහි අපිලාපන, උපග්ගණ්හන යන ලක්‍ෂණ දෙකකි. කුසල් අරමුණෙහි සිහිය පිහිටුවා ගැනීම අපිලාපනයයි. අයහපත් සිතිවිලි, ක්‍රියා අත්හැර, යහපත් සිතිවිලි, ක්‍රියාවලට යොමුවීම උපග්ගණ්හන ලක්‍ෂණයයි.  

අප්‍රමාදය යනු අමුතුවෙන් වනගතවී නිරතවිය යුතු දෙයක් නොව, සෑම වේලාවහිදීම පිලිපැදියහැකි උතුම් ගුණයකි. උදෑසන පිබිදුන වෙලේ සිට, නැවත නින්දට යනතුරුම, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, කරණීය මෙත්ත සූත්‍රය, මහාමංගල සූත්‍රය, රතන සූත්‍රය ආදියෙන් එකක් මනසිකාර කරමින් දවසේ වැඩකටයුතුවල යෙදීම අනුස්සති භාවනාවක්වනු ඇත. ඉන් අසීමිත අධ්‍යාත්මික, මානසික සුවයක් ලැබෙනු ඇත. කෝපය, ශෝකය, රාගය, බය නැතිවී, අනතුරු, අමනුෂ්‍ය දෝෂ ආදියෙන්ද ආරක්‍ෂාව ලැබෙනු ඇත. එළඹසිටි සිහියෙන් නිතරම සිටීමට සිත පුරුදුකර ගැනීමම භාවනාවකි. මෙලෙස සිත පිරිසිදු කරමින් දිගු කලක් පසුවූ කෙනෙකුට, කිසියම් අවස්ථාවකදී පූර්ණ විවෙකයක් ලැබුනහොත්, සමත භාවනාවෙන් ධ්‍යාන, සමාපත්ති, ඉපදවීමට හැකිවනු ඇත. (ඒ සඳහා නිසි උපදෙස් ලැබිය යුතුය) 

බොදු බැතියන් වශයෙන් අප තෙරුවන් සරණ යන්නේ, බුදුන් වඳින්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, බවුන් වඩන්නේ, මව් පිය උපස්ථානය කරන්නේ, වැඩිහිටි උපස්ථානය කරන්නේ, වත් පිලිවෙත් පුරන්නේ, බණ අසන්නේ, බණ දෙසන්නේ, පින් දෙන්නේ, පින් අනුමෝදන් වන්නේ, දස කුසල් කර්මපථ පුරන්නේ, දස පුණයක්‍රියා කරන්නේ, සිව් බඔ විහරණ, සතර සංග්‍රහ වස්තු වඩන්නේ, කරණීය ධර්ම, මහා මංගල ධර්ම පුරුදු කරන්නේ, බෝධි පාක්‍ෂික ධර්ම පුරුදු කරන්නේ, සම්මා දිට්ඨිය ඇතිවන ලෙස සමත, විපස්සනා වඩන්නේ, සතර මග, සතර ඵල පිලිවෙලින්, චතුරාර්ය සත්‍යය අවබෝධයෙන්, අමා මහ නිවන සාක්‍ෂාත්කර ගැනීම පිණිසයි. අපගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ විසි අසංක කල්ප ලක්‍ෂයක් මේ සඳහා සිත දියුණුකර ගනිමින් අප්‍රමාදව පෙරුම් පුරන ලද සේක. නිවන් අවබෝධය ලැබෙනතුරුම, අතරක් නෑර ඉහත සඳහන් ධර්ම පැවැත්විය යුතුව ඇත. 

සවිස්තර දෙසුම

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මිනිසුන්හට මෙලොව අරුතත්, පරලොව අරුතත් යන දෙකම අත්පත්කර ගැනීම සඳහා වන ඒකායන මාර්ගයක් තිබේද? එසේනම් එය කුමක්ද?” යනුවෙන් කොසොල් මහ රජතූමා විසින් නගන ලද පැනයකට පිළිතුරු වශයෙන් බුදුරජානන් වහන්සේ “එවන් ඒකායන මාර්ගයක් තිබේය මහරජ, එය අප්පමාදය නමි” යනුවෙන් වදාල සේක.  

ඒ සඳහා උදාහරණයක් වශයෙන් “පා ගමනින් යන සියලුම සතුනගේ පා සටහන්, ඇතෙකුගේ පා සටහනක් තුල බහාලිය හැකිවාක් මෙන්, මෙලොව දියුණුව, පරලොව සුගතිය සහ කෙළවර නිවන් සුවයද ලබා ගැනීම පිනිස යම්තාක් කුසල ධර්ම හේතු වෙත්ද, ඒ සියල්ලම අප්‍රමාදය නැමැති එකම දහම් පදයෙහි ඇතුලත් වන්නේ ය” යනුවෙන් පැහදිලි කොට, මෙම අප්පමාද සූත්‍රය දෙසන ලද සේක.  

ආයුං අරොගියං වණ‍්ණං සග‍්ගං උච‍්චා කුලීනතං 

රතියො පත්‍ථයන‍්තෙන උළාරා අපරාපරා 

අප‍්පමාදං පසංසන‍්ති පුඤ‍්ඤකිරියාසු පණ‍්ඩිතා  

අප‍්පමත‍්තො උභො අත්‍ථෙ අධිගණ‍්හාති පණ‍්ඩිතො 

දිට‍්ඨෙ ධම‍්මෙ ච යො අත්‍ථො යො චත්‍ථො සම‍්පරායිකො 

අත්‍ථාභිසමයා ධීරො පණ‍්ඩිතොති පවුච‍්චතීති 

“මෙලොව මිනිසුන් සිතන පතන බොහෝදේ අතර, දීර්ඝායුෂ, නිරෝගි සුවය, ශරීර වර්ණය, ගුණ වර්ණනාව, දෙව්ලොව සැප, උසස් වංශවත් ජීවිත, ගෙවල් දොරවල්, වතුපිටි, යාන වාහන, හොඳ දෙමව්පියන්, හොඳ අඹු දරුවන්, හොඳ සේවක සේවිකාවන්, විසුමට හොඳ දේශයක් ආදිය වෙති. මේවා ලෞකික දේවල් බැවින්  තෘෂ්ණාවට අරමුණුය. එසේනමුත්, නිවන් දකිනතුරු එකී දේවල් පතති. මේවා අවශ්‍ය වන්නේ, දන්, සිල්, භාවනා ආදී කුසල් කරමින්, දස පාරමිතා වඩමින්, නිවන් මගට පිවිසීමය.   

මෙකී සියඵ දේවල් සිතන පතන අයුරින් අත්පත් කරගැනීමට කිසියම් මගක් වේද, බුදු පසේබුදු, මහරහත්, පණ්ඩිතෝත්මයන් වහන්සේලා මෙකී පැතුම් සපුරා ගැනීමට එකම හේතුව අප්‍රමාද වීම බව ප්‍රශංසා මුඛයෙන් දේශනා කර ඇත. නුවනැත්තා අප්‍රමාදවීම නිසා මෙකී සියඵ දේවල් ලබා ගනිති. මෙලොව යම් යම් අභිමථාර්තයන්ද, පරලොව යම් යම් අභිමථාර්තයන්ද මුදුන්පත් කරගන්නා ධීරයා නුවනැත්තා බව පැවසේ” යන්න මෙම ගාථාවල සරල අරුත වේ.  

මෙතැනදී, ආයුෂ, නිරෝගි සුවය, වර්ණ සම්පත්තිය, ස්ව්ර්ගය, උසස් වංශවත් ජීවිත, ආදියෙන් අදහස් කරනුයේ මොනවාදැයි සළකා බලමු. මේ සියල්ල ලෝකය හා සබැඳි දේවල්ය. 

කල්ප විනාසයෙන් පසු නැවත බිහිවන ලොවෙහි මිනිස් ආයුෂ අවුරුදු අසංකෙයියක් වේ. එහෙත් මිනිසුන්ගේ ලෝභ, දෝස, මෝහ ආදී කෙලෙස් උත්සන්න වීම නිසා එම ආයුෂ අනූපිළිවෙලින්  පිරිහී, නැවතත් දස වසරක් බවට පත්වී ක්‍රම තුනකින් සත්ව විනාසයක් සිදුවනු ඇත. එනම්,  

  • ද්වේෂය උත්සන්නවීම නිසා ආයුෂ පිරිහීගියේ නම්, ආයුධවලින් කපා කොටාගෙන මියගොස් බොහෝදෙන නරකාදියේ උපදිති. එය සත්‍ර අන්තඃකල්පය නමි. 
  • ලෝභය උත්සන්නවීම නිසා ආයුෂ, සෑප, බල, ප්‍රඥා, පිරිහී ගියේ නම්, දුර්භික්ෂයක් ඇතිවී මියගොස් බොහෝ දෙන ප්‍රේත ලොව උපදිති. 
  • මෝහය උත්සන්නවීම නිසා ආයුෂ, සෑප, බල, ප්‍රඥා, පිරිහී ගියේ නම්, වසංගත රෝගාබාද ආදියෙන් මියයන බොහෝදෙන, “අනේ මෙවන් දුකක් කිසිවෙකුටත් ඇති නොවේවා”යි කරුණා සිත් පහල කරගන්නා බැවින්, සුගතිගාමී වෙති. එය රෝග අන්තඃකල්පය නමි.  

අප ගෞතම බුදුන් පහලවූයේ පරමායුෂ වසර සියයක්වූ කලකය. මේ වන විට, පරමායුෂ වසර හැත්තෑ හතරක් පමණ වෙති. මෙසේ බලන කල, බොදු බැතිමතුන්හට පින් දහම් කරගැනීමේ අභිලාෂය ඇති බැවින් දීර්ඝායුෂ, නිරෝගි සුවය, ගුණ වර්ණනාව ආදිය පැතීම අවශ්‍යය. මරනින් මතු අපාගත නොවී සුගතිගාමී වීමද අවශ්‍යය. 

මනුලොවද සුගතියක්ලෙස සැළකෙන නමුදු, දිවියේ අවසාන කාලයේදී බොහෝවිට රෝගාබාද නිසා පින්දහම් කරගැනීම අසීරුවන අතර එවන් කාලය, දෙව්ලොව ගතකිරීම පහසුවක් වන බැවින් දෙව්ලොව පතති. තවද, මනුලොව උපත ලබන්නේනම් උසස්, වංශවත් ජීවිතයක්ම පතති. මීට අමතරව, ගෙවල් දොරවල්, වතුපිටි, රන් රිදී, මුතු මැණික්, යාන වාහන, හොඳ දෙමව් පියන්, හොඳ අඹු දරුවන්, හොඳ සේවක සේවිකාවන්, විසුමට හොඳ දේශයක් ආදියද පතති. මේ සියලුදේ මිනිසාට අවශ්‍යය වේ. එහෙත් මේ සියල්ල තෘෂ්ණාවට අරමුණුය. බොදු බැතිමතුන් හට මේ සියල්ල අවශ්‍ය වන්නේ ඒවා භාවිතා කොට සසර දිගුකර ගැනීමට නොව, ඒවා ප්‍රයෝජනයට ගෙන දන්, සිල්, භාවනා ආදී කුසල් කරමින්, පාරමී පුරමින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය සපුරාලමින්, බෝධිපාක්‍ෂික ධර්මයන් දියුණුකරමින්, දස පාරමිතා වඩමින්, නිවන් මගට පිවිසීමය. මේවා පැතීම, රෝගියෙකු වෛද්‍යප්‍රතිකාර ලබාගන්නාවා වැනිය. 

මනුලොව යනු දුක් කන්දකි. පංච උපාදානස්කන්ධයම දුකකි. එනම් ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, කායික මානසික දුක, ආයාස, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සම්ප්‍රයෝග, සිතුපැතු දේ නොලැබීම, මේ ආදී සියලුම දේ දුකය. බොදු බැතිමතුන්හට අවශ්‍ය වන්නේ මේ බව අවබෝධ කොට, ඒවා ඇති කරන හේතු ඉවත්කොට, ඉන් එතෙර වීමට අවශ්‍ය ධර්ම සංභාරය උපදවා ගැනීමය. 

මෙලොව දුකසැප නිති පෙරෙලෙන බව වේයන් රැලේ උපමාවෙන් ගෙන හැරපාමින් “මහණෙනි, පමා නොවී පිළිවෙත් පූරත්වා” යනුවෙන් බුදු රජුන් විසින් අනුශාසනා කරන ලදී. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස හේතුවන ධර්ම සංභාරය උපදවා ගැනීම සඳහා කලින් සඳහන් කරනලද සම්පත් අවශ්‍ය වේ. එකී සම්පත් ලබා ගෙන, ඒවායේ ඇලෙන්නේ, බැඳෙන්නේ, වෙලෙන්නේ, පැටලෙන්නේ, මුලාවෙන්නේ නැතිව, නැවත නැවත ශීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩීම අප්‍රමාදය නමි. පුණ්‍ය ක්‍රියාවන් කෙරෙහි නොපමාවීම හෙවත් එළඹසිටි සිහියෙන් යුක්තවීම, එකී සම්පත් සාක්‍ෂාත් කරගැනීමට හේතුවන ඒකායන මගයි. 

අපගේ සර්වඥයන් වහන්සේ දිනකට තුන්වරක්ම “මහණෙනි, බුදු සසුනත්, මිනිසත්බවත්, ක්‍ෂණ සම්පතත් (අංගවිකල, අඳ, ගොඵ, බිහිරි, උන්මන්තක, මන්ද බුද්ධික ආදියෙන් තොරවීම) ශාසන පැවිද්දත්, සද්ධර්මයත්, කළණ මිතුරු සම්පතත් යන සියල්ල දුර්ලභ නමුත් ඒවා දැන් ලැබී ඇති බැවින්, එළඹසිටි සිහියෙන් යුක්තව පිළිවෙත් පූරත්වා” යනුවෙන් මෙම අප්‍රමාද පදයෙන් අනුශාසනා කළ සේක. මෙය සුගතෝවාදය නමි. 

අට්ඨ කථාවෙහි ප්‍රමාදය යනු සිහිය අමතක වීම වශයෙන් හැඳින්වෙන අතර, අප්‍රමාදය යනු සිහිය අමතක නොවීමය. එනම්, එළඹසිටි සිහි ඇති බව අප්‍රමාදයයි.  එළඹසිටි සිහි ඇති බව අභිධර්ම පිඨකයෙහි, විභංගප්‍රකරණයෙහි, ඛුද්දකවත්ථු විභංගයෙහි (17වන කොටස) මනාසේ විග්‍රහකොට ඇත. එහි කෙලෙස් ධර්ම 1500ක් දක්වා ඇති අතර ඉන් එකක් වන ප්‍රමාදය විස්තර කොට ඇත්තේ මෙලෙසය. 

ප්‍රමාදය – අභිධර්මයෙහි විස්තර කොට ඇති ආකාරය

  • තිදොරින් (සිත, කය, වචනයෙන්) සිදුවන අකුසල් තුල සිත හැසිරීමට ඉඩ හැරීම.  
    • කයින් – ප්‍රාණඝාතය, සොරකම, කාම මිථ්‍යාචාරය, සුරාපානය 
    • වචනයෙන් – බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්බස් කීම 
    • මනසින් – අභිද්‍යාව, ව්‍යාපාදය, මීථ්‍යා දෘෂ්ඨිය 
  • පසිඳුරන් පිනවීම කෙරෙහිම සිත යොමුකිරීම, යෙදී සිටීම. ඒවායින් සිත අවුල්කරගෙන සිටීම. ඒවායෙහි නිතර නිතර සිත හැසිරීමට ඉඩ හැරීම. 
  • පහත සඳහන් ධර්ම වල උදාසීන ලෙස, අගෞරව ලෙස නිරතවීම. ඒවායෙහි ඉතා කලාතුරකින් නිරත වීම. 
    1. දස පුණ්‍යක්‍රියා (දාන, සීල, භාවනා, ගරු කළ යුත්තන්ට ගරු කිරීම, වතාවත් කිරීම, පින් අනුමෝදන් කිරීම, පින් අනුමෝදන් වීම, ධම්ම ශ්‍රවණය, ධම්ම දේශනාව, දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම)  
    2. දස කුසල කර්මපථ ( පානාති පාතා ආදී)  
    3. දස පාරමී ධර්ම (දාන, ශීල, නෙක්ඛම්ම ආදී)  
    4. සතර බ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා)  
    5. සතර සංග්‍රහ වස්ථූන් (දානය, ප්‍රිය වචනය, අර්ථ චරියාව, සමානාත්මතාවය)  
    6. කරණීය ධර්ම 14  
    7. අකරණීය ධර්ම 01  
    8. මහා මංගල ධර්ම 38  
    9. සතිපට්ඨානාදී බෝධි පාක්‍ෂික ධර්ම 37 
  • පින්කමක් කරන විට, එහි නිමාවක් දකිනතුරු නොසිටීම. බුද්ධ වන්දනාවක්, බණකට සවන්දීමක්, දානයක් ආදිය නිමාවන තුරු නොසිටීම.  
  • හිසරදය, වැස්ස ආදී හේතු දක්වමින් පින්කම්  මගහැරීම, පසුබටවීම. 
  • පින්කම් කිරීමට උවමනාවක් නොතිබීම. කුසලච්ඡන්දය නොමැතිවීම. 
  • කුසලයක් කිරීම සඳහා අවස්තාවක් ඇතිවිට, විවිධ හේතුදක්වමින් උත්සාහයක් නොදැරිම. 
  • පින්කමක් ඉතා උනන්දුවෙන්, භක්තියෙන් නොකිරීම. 
  • නැවත නැවත කුසල් නොකිරීම. 
  • බහුල වශයෙන් කුසල් නොකිරීම. 

මේ අයුරින් සිහිය අත්හැර දැමීම, සිහිය අමතක කිරීම, සිහිය අමතක වන බව හා ඉහත සඳහන් සියලු කරුණු ප්‍රමාදයයි. එසේනම් ඒ සියල්ලේ ප්‍රතිවිරුද්ධ ධර්ම අප්‍රමාදයයි. 

  • තිදොරින් සිදුවන අකුසල්වලට බිඳකුදු ඉඩනොදී, සිත රැකගෑනීම. සිතට අනදී, අනුබලදී ඒවායින් මුදාගැනීම. දස කුසල කර්ම පථය.  
  • පසිඳුරන් පිනවීම කෙරෙහිම සිත යොමු නොකොට, ඒවායේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනත්ත බව, අස්සාර, නිස්සාර, අශුභබව මෙනෙහි කොට, සිත රැකගැනීම.  
  • දන්සිල් බාවනා ආදී කුසල් කිරීමේදී, ඉතා ගෞරව සම්පන්න ලෙසට, පිරිසිදුවට (තමනුත්, පුදනදේත්) අනෙකුත් දේ කෙරෙහි සිත නොයොදවා, වටපිට නොබලා, මනා සිහිනුවනින් යුතුව වැඳීම. (සක්කච්ච කාරිතා) 
  • ස්වාමීන් වහන්සේලා බැහැ දැකීමට ගියවිට, ඉතා ගරුසරුව පසඟ පිහිටුවා වැඳනමස්කාර කොට, කතාකිරීම. සාවධානව සවන්දීම. 
  • දන්දෙනවිට ඉතා පිරිසිදුව (ධාන්‍ය වල කඵ ඇට ආදිය ඉවත්කොට), සංඝරත්නයට කැපකරු බන්ධනයෙන් දානය සංවිධානය කිරීම. 
  • සිල් සමාදන් වූ කල, ඉතා ගෞරව සම්පන්න ලෙස ශීලයෙහි පිහිටා සිට, ශීලය මැනවින්  රැකගැනීම.  
  • භාවනා වඩන කල මනාව පිරිසිදුවී, අසුන් පනවාගෙන ඉතා ගෞරව සම්පන්න ලෙස එහි නිරතවීම.  
  • දෙමව්පිය උපස්ථානය, ගිලනුන් උපස්ථානය, බණ ඇසීම ආදී කවර හෝ පින්කමක් කරතත්, ඉතා ගෞරව සම්පන්නව, හැකි සැම විටම සියතින්ම සිදුකිරීම.   
  • නැවත, නැවත පින්කම්වල යෙදීම. 
  • උදෑසන පන්සිල් සමාදන් වී දවස පුරාවටම සිතින් මෙනෙහි කරමින් වැඩවල යෙදීම. සිල්පද නොබිඳුනද, සිල් පද සමාදන්වන සෑම වරකදීම, ශීලමය කුසලය සිදුවේ. නැවත, නැවත සිහිකිරීමේදී භාවනාමය කුසලය සිදුවේ.මෙය ශීලානුස්සතියයි. 
  • ඉතිපිසෝ ගාථාව, කරණීයමෙත්ත සූත්‍රය, දවසේ වැඩකරන අතරතුරම නැවත, නැවත, නැවත සිතින් මෙනෙහි කිරීමෙන්, භාවනා මනසිකාරයෙහි සිත තබා ගැනීම.    
  • කවරහෝ පින්කමක (බුදුන් වැඳීම, බණක් ඇසීම, දනක් පිදීම ආදිය) යෙදනවිට, එය නිමාවන තෙක්ම සිදුකිරීම, රැඳීසිටීම.  
  • පින්කම් කිරීමට පසුබට නොවීම, මහන්සියි නොකීම. 
  • කුසල් නොකරනවිටද, කරනලද පින්කමක් ගැන නිතර සිතින් මෙනෙහි කිරීම.  
  • කුසල් කරනවිට ඉතා උනන්දුවෙන්, භක්තියෙන් සිදුකිරීම. 

යන මේ සියල්ල අප්‍රමාදයයි. 

අප්‍රමාදය – පරමාර්ථ වශයෙන්

මීළඟට, අප්‍රමාදය නැමැති දහමේ පරමාර්ථ වශයෙන් දැක්වෙන කරුණු සළකා බලමු. අප දන්නා පරිදි සිත් 89ක් (දීර්ඝ ක්‍රමයට අනුව 121ක්) වෙති. ඒ අතර අකූසල් සිත් 12කි. අහේතුක සිත් 18කි. ඉතිරි සිත් 59 ශෝභන සිත් නමි. සිතක ස්වභාවය දැන ගත හැකි වන්නේ සිතත් සමග එකට පහළවන චෛතසික වල ලක්‍ෂණ වලිනි. අන්‍ය සමාන චෛතසික 13කින්, අකුසල චෛතසික 14කින්, ශෝභන චෛතසික 25කින් සමන්විතවන සම්පූර්ණ චෛතසික සංඛ්‍යාව 52කි. ඉහත කියන ලද සෑම ශෝභන සිතකම, ශෝභන සාධාරණ චෛතසික 19ක් සහ අන්‍යසමාන චෛතසික 13ක් ඇතුඵ චෛතසික 32ක් අවම වශයෙන්, නොවැරදීම පහළ වෙති. මෙකී ශෝභන සිත් සියල්ලෙහිම සති චෛතසිකය ඇත. අප්‍රමාදය යනුවෙන් ප්‍රධාන වශයෙන් සැළකෙන්නේ මෙම සති චෛතසිකයයි. 

සති චෛතසිකයෙහි අපිලාපන, උපග්ගණ්හන යනුවෙන් ප්‍රධාන ලක්‍ෂණ දෙකකි. අපිලාපනය යනු, කුසල් අරමුණෙහි සිත කිඳා බසින ලක්‍ෂණයයි. බුදුන් වඳින විට බුදුගුණ සිහි කරන බැවින් අප සිත බුදුගුණ තුල පිහිටයි. කිඳා බසියි. එලෙස කුසල් අරමුණෙහි සිහිය පිහිටුවා ගැනීම අපිලාපනයයි. උදාහරණයක් වශයෙන් භාණ්ඩාගාර ලැයිස්තුව දිනකට තෙවරක් ශ්‍රවණය වන නිසා එකී භාණ්ඩ සියල්ල සක්විති රජුගේ මතකයෙහි හොඳින් පිහිටයි. සතියද මෙලෙසටම, නිසි වෙලාවට බුදුන් වැඳීමට, පන්සිල් ගැනීමට සිහි එළඹවාදේ. පවක් සිදුවන විට පවකින් වළක්වාලීමටත්, තරහ එන අරමුණෙහි තරහ ඇති නොවීමටත්, ලෝභයක් ඇතිවන විට ලෝභය ඇති නොවීමටත්, සිහි එළඹවාදේ. මේ අයුරින් සෑම විටකදීම, කුසල් සිත් පහල කරගැනීමට උදව්වන්නේ මෙම එළඹසිටි සිහියයි. 

සක්විති රජුගේ දිවැස්ඇති සෙන්පති පුතු, ගව් 48ක් මානයේ සිටින පිරිස අතුරින් හිතවත් හෝ අහිතවත් සෙබලුන් තෝරා වෙන් කරන්නාක්සේ, එළඹසිටි සිහියද, තමන්ගේ ශීලයට, ගුණයට, ශ්‍රද්ධාවට, ජීවිතයට, තත්වයට නොගැලපෙන, බාධා ගෙනදෙනදේ අත්හරවයි. ඒවායෙන් වළක්වාලයි. වෛද්‍යවරයෙකු රෝගියාට සුදුසු නුසුදුසු දේ තෝරා දෙන්නාසේ, එළඹසිටි සිහියද, තමන්ගේ ජීවිතයට, ශීලයට, ප්‍රතිපත්තියට, ආගම ධර්මයට, වංශයට, වයසට, උගත්කමට, මවුපියන්ට, ගුරුවරුන්ට අගෞරව වන දේවලින් වළක්වාලයි. තමන්ට හිතකරදේ පමණක්ම ඇසුරට  ළංකරදෙයි. 

එළඹසිටි සිහිය නිසා මදුරුවා නොමරා, මෙත්සිත් වැඩීමට පෙලෙඹෙයි. එමෙන්ම, තමන්ද නැවත මදුරුවෙකු නොවීම පිණිස, අප්‍රමාදව කුසල් සිදුකරගැනීමට සිතෙනු ඇත. මෙලෙස, අකුසලයක් සිදුවීමට ඉඩ ඇති අවස්ථාවකදී එළඹසිටි සිහිය නිසා ඉන් වැළකෙයි. දුගී මගී යාචකයන්හටද, එසේ මෙත්සිත් වඩා සිත පිරිසිදු කරගැනීමට සිතෙනු ඇත. එවිට, සෑම කල්හිම, අප්‍රමාදය කුසල් සිත් පහළ කරදෙනු ලබයි. මෙසේ අයහපත් සිතිවිලි හා ක්‍රියා අත්හැර, යහපත් සිතිවිලි හා ක්‍රියාවලට සිත යොමුකිරීම උපග්ගන්හන ලක්‍ෂණයයි. 

මෙයින් පෙනීයන්නේ, අප්‍රමාදය යනු අමුතුවෙන් වනගතවී නිරතවියයුතු දෙයක්නොව, සෑම වේලාවෙහිදීම පිලිපැදියහැකි උතුම් ගුණයකි. උදෑසන පිබිදුන වෙලේ සිට නැවත නින්දට යනතුරුම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය ආදියෙන් එකක් මනසිකාර කරමින් දවසේ වැඩ කටයුතුවල යෙදීම, අනුස්සති භාවනාවක් වනු ඇත. ඉන් අසීමිත අධ්‍යාත්මික, මානසික සුවයක් ලැබෙනු ඇත. කෝපය, ශෝකය, රාගය, බය, නැතිවී, අනතුරු, අමනුෂ්‍ය දෝෂ ආදියෙන්ද ආරක්‍ෂාව සැළසෙනු ඇත.  

එබැවින්, මෙලොව දියුණුවටද, පරලොව සුගතියටද හේතුවන එකම මාර්ගය සතියෙන් යුක්ත වීමයි. එනම්, එළඹසිටි සිහියෙන් යුතුව දවසේ කටයුතු වල යෙදීම යනුවෙන් අප බුදුරජාණන් වහන්සේ අප්පමාදෝ යන දහම් පදයෙන් දෙසූ සේක. 

සමථ විදර්ශනා භාවනා වැඩීමට සතිය උපකාර වන ආකාරය

අපගේ බෝසතුන්ගේ පෙර භව වලදී, අපමණ ඉවසීම, මෛත්‍රිය, පරිත්‍යාගය, පුරුදු කොට පාරමිතා පුරාගනු ලැබුවේ, එළඹසිටි සිහියෙන් යුතුව, සියඵ කටයුතු කළ නිසා බව සඳහන් වේ. උදාහරණයක් වශයෙන්, බෝධිසත්ත්වයින් වහන්සේ ඒකරාජවී සිට සමයෙහි, එල්ලා වදහිංසා දෙද්දීත්, මෛත්‍රීවඩා ධ්‍යාන වඩා, අභිඥා ලැබ, ගුවනේ බද්ධ පර්යංකයෙන් වැඩහිඳ, ගුවනින්ම වැඩි සේක. මෙයින් හැඟෙන්නේ, ඕනෑම දුෂ්කර අවස්ථාවකදී වුවද, එළඹසිටි සිහිය තිබේනම්, තමාගේ  හිත පිරිසිදු කරගත හැකි බවය. එළඹසිටි සිහියෙන් නිතරම සිටටීමට සිත පුරුදු කරගැනිමම, භාවනාවකි. 

මෙලෙස සිත පිරිසිදු කරමින් දිගු කලක් පසුවූ කෙනෙකුට, කිසියම් අවස්ථාවකදී පූර්ණ විවෙකයක් ලැබුනහොත්, සමත භාවනාවෙන් ධ්‍යාන, සමාපත්ති, ඉපදවීමට හැකිවනු ඇත. ඒ සඳහා නිසි උපදෙස් ලැබුනේවී නම්, භාවනා කමටහන් වඩා, ප්‍රථමධ්‍යාන ආදිය මෙන්ම, රූපධ්‍යාන, අරූපධ්‍යාන පවා උපදවීමට හැකිවනු ඇත. එමෙන්ම, ඒවා පාදක කොටගෙන විදර්ශනා වැඩිය යුතුය. (සමථ භාවනාවේ අනුහස් පහක් තිබෙන අතර, ඉන් එකක් වනුයේ විදර්ශනාවට පදනම්  කරගැනීමයි) 

සමථ භාවනාව දියුණු කරගැනීමෙන්, පටිභාග නිමිත්ත උපදවීමට හැකිවනු ඇත. පටිභාග නිමිත්තේ ආලෝකයෙන් පොලොව උඩ, යට, සරස, අනන්ත ලෝකධාතුව තුල ආලෝකය පැතිරෙනු ඇත. අනතුරුව, එම ආලෝකය තමන්ගේ ශරීර කූඩුව තුලට  යොමුකොට, විදර්ශනා කළ යුතුය. එසේ විදර්ශනා කරනවිට ලැබෙන්නේ ප්‍රඥා ආලෝකයයි. මිට පෙර ලැබුනේ කසිනාලෝකයයි. එකී ප්‍රඥා ආලෝකයෙන් තම ශරීරය විනිවිද බැලිය යුතුය. ඉක්බිතිව, ශරීරයෙහි තිබෙන කර්ම, චිත්ත, ඍතු සහ ආහාර සමුට්ඨාන රූප කලාප, කලාප වශයෙන් බෙදාගෙන බැලිය යුතුය. එසේ ආධ්‍යාත්මික රූප සියල්ලම සොයාගෙන, නාම ධර්මද එකක්, එකක් වශයෙන් බැලිය යුතුය. 

ඉන්පසු තමන් ලබාගත් ධ්‍යානයෙන් නැගිට, එම ධ්‍යානයෙහි තිබෙන ධ්‍යාන ධර්මයන් ආවර්ජනය කලයුතුය. එමෙන්ම, මනෝද්වාරික කුසල අකුසල ජවන්, පංචද්වාරික කුසල අකුසල ජවන් ආදිය සියල්ලම සොයාගත යුතුය. ප්‍රතිසන්ධියේ පටන් චුතිය දක්වා යන මෙම සිත්පෙල පිලිබඳ නාම රූප සියල්ලම බලාගත යුතුය. ඒවායේ හේතුඵල සම්බන්ධතාවයද සොයා ගතයුතුය. ඉන්පසු එක් එක් නාමයේත්, එක් එක් රූපයේත්, ලක්‍ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන යන හතරත් වෙන් වෙන් වශයෙන් සම්මර්ශණය කළයුතුය. අනතුරුව, මෙම නාම රූප සියල්ලම සම්පිණ්ඩනය කොට, සම්මර්ශණ ඥාණය (නාම රූප පරිච්ඡෙද ඥාණය) වඩා, විදර්ශනා කළ යුතුය. 

අනතුරුව පහළ වන්නේ ප්‍රත්‍ය පරිග්‍රහ ඥාණයයි. සම්මර්ශණ ඥාණයේ පිහිටා සිට, ත්‍රිලක්‍ෂණය වැඩිය යුතුය. එවිට උදයව්‍ය ඥාණ පහ වැඩෙනු ඇත. පණස් අයුරකින් උදයව්‍ය ඥාණය බැලිය යුතුය. එසේ බලන කළ, ආලෝක, ප්‍රීති, ප්‍රඥප්ති ආදී කරුණු දහයකින් හෝ එකක් හෝ ඇතිවිය හැකිය. ඒවා විදර්ශනා උපක්ලේශ වශයෙන් හැඳින්වේ. ඒවාට ඇලෙන්නේ, බැඳෙන්නේ නැතිව, ඒවා ත්‍රිලක්‍ෂණයට හැරවිය යුතුය. 

අනතුරුව මතුවන්නේ භංගානුපස්සනා ඥාණයයි. එහිදී, රූප සප්තක, අරූප සප්තක යැයි හැඳින්වෙන 14 ආකාරයක විශේෂ මනසිකාරයක් හමුවනු ඇත. එහිදී ඉතා සියුම්ලෙස නාම රූපයන්ගේ යථා තත්වය විදර්ශනා කළ යුතුය.   

ඉන්පසු භයතුපට්ඨාන ඥාණය, ආදීනව ඥාණය, නිබ්බිදා ඥාණය, මුඤ්චිතුකම්‍යතා ඥාණය,  පටිසංඛානුපස්සනා ඥානය ආදීවශයෙන් සංඛාරුපෙක්ඛා ඥාණය දක්වා විදර්ශනා ඥාණ වැඩෙනු ඇත.  සංඛාරුපෙක්ඛා ඥාණ අවස්ථාවට පැමිණිවිට, රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාපත්තීන්ගෙන් ලැබෙන ආලෝකයට වඩා ප්‍රබල ආලෝකයක් ඇතිව පුදුම ශාන්ත ස්වභාවයකින් සිත පවතිනු ඇත. එවිට, තරාදියක දෙපස පෙනෙන්නාක්සේ එක් පසෙක සංස්කාර ධර්මත්, අනෙක් පසෙහි අසංඛත නිර්වානයත් දිස්වනු ඇත. මෙම තත්වය පහළවූවිට, සංඛාරුපෙක්ඛාව පරිපූර්ණ වනු ඇත. එය නැවත, නැවත, නැවත වැඩිය යුතුය. එවිට, තම සන්තානයෙහි ඉන්ද්‍රීය ධර්ම, බලධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, සතිපට්ඨාන ධර්ම, සම්‍යක්ප්‍රධාන ධර්ම, ඉර්ධිපාද ධර්ම ශක්තිමත්වු විට, මනෝද්වාරාවර්ජනයෙන් පටන්ගෙන, පළමුවෙන්ම සෝතාපත්ති මග්ග චිත්ත වීථිය පහළවනු ඇත. පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන නම් වලින් යුතු සෝමනස්ස සහගත හෝ උපේක්ඛා සහගත හෝ ඥාණ සම්ප්‍රයුක්ත ජවන් සිත් සතරක් පහළවනු ඇත. ඒ අතුරින්, පරිකර්ම, උපචාර, අනුලෝම යන සිත් තුනෙන් විදර්ශනා කළ යුතුය. ගෝත්‍රභූ සිතින් නිවන අරමුණු කරනු ලැබේ. ඉක්බිතිව පහළවන පස්වන සිත, මාර්ග සිත වන  අතර, ඒ සිත තුලින් ඍජුවම, නිවනම අරමුණු කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය සාක්‍ෂාත් කරගනු ලැබේ.  

ඉන් අනතුරුව ඵල සිත් දෙකක් පහලවනු ඇත. ඒවා මාර්ගානන්තර ඵල සිත් නමි. සමහරුනට පහලවන්නේ උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන ජවන් සිත් තුන පමණක්වන අතර, සතරවන සිත වශයෙන් මාර්ග සිත පහලවන අතර, ඉන්පසු ඵල සිත් තුනක් පහලවනු ඇත. එයින් පසු භවංග පතිතවී, තමන්හට පහලවූ මාර්ගයත්, ඵලයත්, නිවනත් අරමුණු කරන චිත්ත වීථිය පහලවනු ඇත. ඒවා ප්‍රත්‍යවේක්‍ෂා ජවන් වීථි නමි. එකී ප්‍රත්‍යවේක්‍ෂා ජවන් වීථි තුලින් තමා පැමිණි මාර්ගයත්, ඵලයත්, අරමුණුවූ නිවනත්, තමන් විසින් ප්‍රහීන කරන ලද කෙලෙස් සහ ඉතිරිව ඇති කෙලෙස් යන කරුණු පහම හෝ කිහිපයක් හෝ දැකගැනීමට සමත්වනු ඇත. 

නැවතත් විදර්ශනා කරනවිට, දෙවන මාර්ග චිත්ත වීථියටත් එලෙසින්ම පත්වනු ඇත. මෙසේ තව දුරටත් විදර්ශනා කරනවිට, පිලිවෙලින් තෙවන සහ සිව්වන මාර්ග චිත්ත වීථියටත් එලෙසින්ම පත්වනු ඇත. මෙලෙස වාර හතරකදී එකම ආසනයකදී හෝ අනුපිලිවෙලින් විදර්ශනාව තුලින් මාර්ග චිත්ත වීථි පහළ වනු ඇත.  අවසානයේදී පහළ වනුයේ අර්හත් මාර්ග චිත්ත වීථියයි. ඒ අනුව, තම සන්තානයෙහි 1500ක්වූ ක්ලේශ ධර්මයන්, ඒ ඒ මාර්ගයට නියමිත පරිදි ප්‍රහාණය වෙමින් ගොස්, අර්හත් මාර්ග චිත්ත වීථියේදී ඉතිරි කෙලෙස් සියල්ලම ප්‍රහාණයවී, චිත්ත සන්තානය සුවිශුද්ධ භාවයට පත්වනු ඇත. 

එවන් සුවිශුද්ධවූ චිත්ත සන්තානය ඇති උත්තමයානන් වහන්සේට මතු පුනර්භවයක් නැත්තේය. උන්වහන්සේගේ සිතෙහි “ඉපදීම අවසන්විය. මෙම සතර මග, සතර ඵල, නිවන සඳහා හැසිරිය යුතු, සසුන් බඔසර නිම විය. මෙම සතර මග, සතර ඵල, නිවන, සඳහා කළයුතු වැඩකටයුතු නිම විය. මෙම සතර මග, සතර ඵල, නිවන, සඳහා මීට වඩා කළයුත්තක් නොමැත” ආදී වශයෙන් අවබෝධයක් පහලවන සේක.   

බොදු බැතියන් වශයෙන් අප තෙරුවන් සරණ යන්නේ, බුදුන් වඳින්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා වඩන්නේ, මව් පිය උපස්ථානය කරන්නේ, වැඩිහිටි උපස්ථානය කරන්නේ, වත් පිලිවෙත් පුරන්නේ, බණ අසන්නේ, බණ දෙසන්නේ, පින් දෙන්නේ, පින් අනුමෝදන් වන්නේ, දස කුසල් කර්මපථ පුරන්නේ, දස පුණයක්‍රියා කරන්නේ, සිව් බඔ විහරන, සතර සංග්‍රහ වස්තු වඩන්නේ, කරණීය ධර්ම, මහා මංගල ධර්ම පුරුදු කරන්නේ, බෝධිපාක්‍ෂික ධර්ම පුරුදු කරන්නේ, සම්මා දිට්ඨිය ඇති වනලෙස සමත, විදර්ශනා වඩන්නේ, මෙකී තත්වය පහළ කරගැනීම පිණිසය. එනම්, සතර මග, සතර ඵල පිලිවෙලින්, දුඃඛය, සමුදය, නිරෝධය, මග්ගය යන චතුරාර්ය සත්‍යය අවබෝධයෙන්, අමා මහ නිවන සාක්‍ෂාත් කරගැනීම පිණිසයි. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසි අසංක කල්ප ලක්‍ෂයක් මේ සඳහා සිත දියුණුකර ගනිමින් අප්‍රමාදව පෙරුම් පුරනලද සේක. අපද, නිවන් අවබෝධය ලැබෙන තුරුම අතරක් නෑර ඉහත සඳහන් ධර්ම වැඩිය යුතුය. 

 

References 

උපෝසත සිල් සමාදන් වීමෙන් දස පාරමිතාවම පිරේ

මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෞකික සැප සම්පත් බලාපොරොත්තුවෙන් කරන කුසල් සසර දීර්ඝ වීමට හේතු වේ. රහත් බව, පසේබුදු බව, ලොව්තුරා බුදුබව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් නිවන් ලබා ගැනීමට උපකාර වේ. මෙසේ තුන්තරා බෝධිය පිණිස කරන කුසල් පාරමිතා නම් වේ. උපෝසත සිල් සමාදන් වන දිනයෙහි පහත සඳහන් පරිදි, නුවණින් ක්‍රියා කිරිමෙන් පාරමිතා දහයම පිරිය හැකි වේ.

  1. මල් පූජා, පහන් පූජා, ගිලන් පස පූජා, ආහාර පූජා, දන් පිරිණැමීම, දහම් දෙසීම, ධර්ම දේශනා වලට උපකාර වීම ආදී කටයුතු වලින් දාන පාරමිතාව පිරේ.
  2. සිල් සමාදන් වී සීලය හොඳින් රැක ගැනීමෙන් සීල පාරමිතාව පිරේ.
  3. අඹුදරුවන් නෑදෑ හිතවතුන්ගෙන් වෙන් ව, අලංකාර වස්ත්‍රාභරණ අතහැර, රාත්‍රී අහාරය අතහැර, නැටුම්, ගැයුම්, වැයුම්, විහිළු දැකීම් ආදිය අතහැර, සැප සහිත ආසන, ඇඳවල් අතහැර, කාමයන් ගෙන් වෙන් දවස ගත කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරේ.
  4. ප්‍රඥාව වැඩීමේ අරමුණින් දහම් ඇසීම, දහම් දෙසීම, ධර්ම සාකච්චා කිරීම, බණ පොත් කියවීම, භාවනා කිරීම ආදියෙන් ප්‍රඥා පාරමිතාව පිරේ.
  5. උත්සාහයෙන් යුතුව සිල් රැකීම, ධුතාංග රැකීම, භාවනා කිරීම, වත් පිළිවෙත් කිරීම, බණ ඇසීම ආදියෙන් වීර්යය පාරමිතාව පිරේ.
  6. සිල් සමාදන් වී කුසගින්න ඉවසීම, ශාරීරික වේදනා ඉවසීම, මැසිමදුරු කරදර ඉවසීම, ශීතෝෂ්ණ ඉවසීම, බැණුම් නින්දා අපහස ඉවසීම ආදයෙන් ක්ෂාන්ති පාරමිතාව පිරේ.
  7. සත්‍ය භාවිතයෙන් හා සත්‍යයෙහිම පිහිටා සිටීමෙන් සත්‍යය පාරමිතාව පිරේ.
  8. සිල් රැකීම සඳහා වෙන් කරගත් කාලයෙහි නොකඩවා සිල් රැකීම, භාවනා සඳහා වෙන් කරගත් කාලයෙහි නොකඩවා භාවනා කිරීම ආදී කටයුතු වලදී අධිෂ්ඨාන පාරමිතාව පිරේ.
  9. අනුන්ගේ යහපත පිණිස ඇමදීම, කසල ඉවත් කිරීම, පැන් සපයා තැබීම, පහන් දල්වා තැබීම ආදී මෛත්‍රී සහගත ක්‍රියා කිරීම, අනුන්ගේ සිත සතුටු වන පරිදි යහපත් වචන කථා කිරීම, අනුන්ගේ යහපත පිණිස ධර්මය කියා දීම, මෛත්‍රී භාවනා කිරීම ආදයෙන් මෛත්‍රී පාරමිතාව පිරේ.
  10. ප්‍රියමනාප හෝ වැදගත් පුද්ගලයින්ට විශේෂයෙන් ඇලුම් නොකොට, අප්‍රිය හෝ අහිතවත් පුද්ගලයින්ට අකමැත්තක් ද නොදක්වමින්, තමන් කැමති දේවල් කෙරෙහි ඇල්මක් නැතිව, අකමැති දේවල් කෙරෙහි ගැටීමක් ද නැතිව, මධ්‍යස්ත සිතින් කටයුතු කිරීමෙන් උපේක්ෂා පාරමිතාව පිරේ.

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, පොහොය දිනය – p151 – p153]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, පොහොය දිනය

උපෝසත සීලය ආවර්ජනා කිරීම

තමා සමාදන් ව සිටින සීලයේ සිල්පද එකින් එකට සිහි කොට ප්‍රීතිය ඇති කර ගත යුතුය. ඒ සඳහා මෙසේ සිල්පද ආවර්ජනය කළ හැක.

  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියළු සත්ත්වයින් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.
  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වැළකී ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.
  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් අබ්‍රහ්මචරියාවෙන් වැළකී පිරිසිදුව වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.
  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් බොරුවෙන් වැළකී අවංකව වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.
  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් මදයට හා ප්‍රමාදයට හේතු වන සුරාපානයෙන් වැළකී වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.
  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් විකාලයෙහි ආහාර වැළඳීමෙන් වැළකී වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.
  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් නැටුම් ගැයුම් වැයම් කිරීමෙන් ද, කරවීමෙන් ද, බැලීමෙන් හා ඇසීමෙන් ද, විහිළු බැලීමෙන් ද, මල් පැළඳීමෙන් ද, සුවඳ විලවුන් භාවිතයෙන් ද, ශරීරය ඔප මට්ටම් කිරීමෙන් ද වැළකී වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.
  1. රහතන් වහන්සේලා දිවිහිමියෙන් අධික සැපෙයන් යුත් උස් ආසන, මහා ආසන, සයනයන් භාවිතා කිරීමෙන් වැළකී වාසය කරන්නේ ය. මම ද අද එසේ හැසිරෙමින් රහතන් වහන්සේලා අනුගමනය කරමි. රහතන් වහන්සේලා කරන ලද්දක් කරමි.

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, පොහොය දිනය – p49 – p51]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, පොහොය දිනය

භාවනා පූර්ව කෘත්‍යය

නමස්කාරය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

තමාට අවවාද කර ගැනීම

මා කරා ජරා, ව්‍යාධි, මරණ පැමිණිමට පෙර මාගේ භාවනා ඉක්මන් කළ යුතු ය. ඉක්මන් කරමි!

නිවන් සුවය නැමති උතුම් සුවය, නොනැසෙන සුවය ලබනු කැමති නම් කුඩා සැප අත්හැරිය යුතු ය. කුඩා සැප අත් හරිමි!

ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අපාය දුක යන මහා දුක් වලට බිය නම්, ඒවායෙන් මිදීමට කැමති නම්, කුඩා දුක් ඉවසිය යුතු ය. කුඩා දුක් ඉවසමි!

සමාව අයැදීම

මාගේ අනුවණකම නිසා හෝ මාගේ දුබලකම නිසා සිත, කය, වචනින් බුද්ධ රත්නයට යම් වරදක් සිදු වී ඇති නම්, අසරණ වූ මා හට බුද්ධ රත්නය සමාවන සේක්වා!

මාගේ අනුවණකම නිසා හෝ මාගේ දුබලකම නිසා සිත, කය, වචනින් ධර්ම රත්නයට යම් වරදක් සිදු වී ඇති නම්, අසරණ වූ මා හට ධර්ම රත්නය සමාවන සේක්වා!

මාගේ අනුවණකම නිසා හෝ මාගේ දුබලකම නිසා සිත, කය, වචනින් සංඝ රත්නයට යම් වරදක් සිදු වී ඇති නම්, අසරණ වූ මා හට සංඝ රත්නය සමාවන සේක්වා!

මාගේ අනුවණකම නිසා හෝ මාගේ දුබලකම නිසා සිත, කය, වචනින් ආර්යයන් වහන්සේලාට යම් වරදක් සිදු වී ඇති නම්, අසරණ වූ මා හට සියළු ආර්යයන් වහන්සේලා සමාවන සේක්වා!

මෛත්‍රය වැඩීම

මගේ අභිමතාර්ථය සිදු වේවා! සැම දෙනාගේ ම යහපත් අදහස් සියල්ල ම සිදු වේවා! 

අපගේ ආරක්ෂක දේවතාවෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වේවා!

මෙම ස්ථානයෙහි ආරක්ෂක දේවතාවෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වේවා!

ලෝකපාලක දේවතාවෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වේවා!

මාගේ දෙමවුපියන්, ගුරුවරයන්, නෑදෑ හිතවතුන්, උපකාරකයින් වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වේවා!

සියළු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වේවා!

අධිෂ්ඨානය

මාගේ ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියයන් ක්‍රියා විරහිත වෙත්වා! රූප ශබ්ද ආදී ආරම්මණයින් මා කරා නොපැමිණෙත්වා!

මාගේ සිත භාවනා අරමුණෙහි ම පිහිටිත්වා! බාහිර අරමුණු කරා ගමන් නොකරත්වා! සමාධිගත වෙත්වා!

මම ආර්යයන් වහන්සේලා ගිය මග ගමන් කරමි. නිවන් මග ගමන් කරමි.

ජීවිත පූජාව

මාගේ භාග්‍යවත් වූ, අරිහත් වූ, සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි! පූජා වේවා!


REFERENCES:
[1] අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, විදර්ශනා භාවනා ක්‍රමය – බුද්ධානුස්මෘති භාවනාව
[2] අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, පොහොය දිනය – බුද්ධානුස්මෘති භාවනාව

මහා පුරුෂ විතර්ක 8

  • මේ ධර්මය ආශාවන් අඩු තැනැත්තාට ය. ආශාවන් වැඩි තැනැත්තාට නොවේ.
  • මේ ධර්මය ලද දෙයින් සතුටු වන තැනැත්තාට ය. ලද දෙයින් සතුටු නොවන තැනැත්තාට නොවේ.
  • මේ ධර්මය දැඩි විවේකයෙහි වාසය කරන තැනැත්තාට ය. පිරිස් සමග ගැවසීමට කැමති තැනැත්තාට නොවේ.
  • මේ ධර්මය ආරම්භ කළ වීර්යය ඇති තැනැත්තාට ය. කුසීත තැනැත්තාට නොවේ.
  • මේ ධර්මය එළඹ සිටි සිහිය ඇති තැනැත්තාට ය. මුළා වූ සිහිය ඇති තැනැත්තාට නොවේ.
  • මේ ධර්මය සමාධිය ඇති තැනැත්තාට ය. සමාධිය නැති තැනැත්තාට නොවේ.
  • මේ ධර්මය ප්‍රඥාව ඇති තැනැත්තාට ය. ප්‍රඥාව නැති තැනැත්තාට නොවේ.
  • මේ ධර්මය නිප්‍රපංචයට කැමති, නිප්‍රපංචයෙහි ඇලුනු තැනැත්තාට ය. ප්‍රපංචයට කැමති, ප්‍රපංචයෙහි ඇලුනු තැනැත්තාට නොවේ.

අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෙයින් පළමු විතර්ක 7 මනසිකාර කරමින් සිටි අවස්ථාවෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් 8 වෙනි විතර්කය එකතු කරන ලදි.

මේ පිළිබඳ නිදාන කථාව හා වෙනත් බොහෝ කරුණු පහත සඳහන් පහන් කණුව ධර්ම දේශනාවෙන් අසා දැන ගත හැක.

REFERENCES:
[1] අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමි – පහන් කණුව ධර්ම දේශනා 162 – අනුරුද්ධ මහ රහතන් වහන්සේ

ආමිස දාන වස්තූන් ධර්ම දාන බවට පත්කර ගත හැකි ආකාරය

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් විසින් සබ්බ දානං ධම්ම දානං ජිනාතී යන මාතෘකාව යටතේ කරන ලද දහම් දෙසුමක් ඇසුරිනි.

සබ්බ දානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති

ධර්ම දානය සියලු දානයන් පරදවයි
ධර්ම රසය සියලු රසයන් පරදවයි
ධර්ම රතිය සියලු ඇලීම් පරදවයි
තෘෂ්ණාව ක්‍ෂය කිරීම සියලු දුක් පරදවයි

සූත්‍ර පිටකයට අනුව දාන වර්ග 10කි

  • ආහාර
  • පාන වර්ග
  • වස්ත්‍ර
  • ගමන් පහසුව (යානවාහන, පාවහන් ආදිය)
  • මල්
  • සුවඳ විලවුන්
  • ඇඟ ගල්වන ද්‍ර‍ව්‍යය
  • හිඳ ගැනීමට හා නිදාගැනීමට වුවමනා ද්‍ර‍ව්‍යය (ඇඳ පුටු, කොට්ට, මෙට්ට ආදිය)
  • වාසස්ථාන (ගෙවල්, ආවාස, කුටි සෙනසුන්)
  • ආලෝක පූජා (පහන්, තෙල්, විදුලි බුබුළු ආදිය)

විනය පිටකයට අනුව දාන වර්ග 4කි

  • චීවර (ඇඳුම්)
  • පිණ්ඩපාත (ආහාර)
  • සේනාසන (වාසස්ථාන)
  • ගිලන්පස (බෙහෙත් හා පාන වර්ග)

අභිධර්ම පිටකයට අනුව දාන වර්ග 6කි

  • වර්ණ දානය (මල්, පහන් ආදියෙහි වර්ණය අරමුණු කොට දන් දීම)
  • ශබ්ද දානය (සාධුකාර දීම, ධර්ම සජ්ඣායනය, ඝාන්ඨාර, ශබ්ද විකාශ යන්ත්‍ර ආදිය දන් දීම)
  • ගන්ධ දානය (මල්, හඳුන් කූරු ආදියෙහි සුවඳ අරමුණු කොට දන් දීම)
  • රස දානය (ප්‍රනීත ආහාර පාන ආදිය දන් දීම)
  • ස්පර්ෂ දානය (ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, ඇදී කයට පහසුව ලබා දෙන ද්‍රව්‍ය දන් දීම)
  • ධර්ම දානය (ධර්ම දේශනා කිරීම, ප්‍රචාරය කිරීම, සීල, සමාධි, ප්‍රඥා වැඩීමට උපකාර වීම, ජීවිත දාන ආදිය)

ආමිස දාන වස්තූන් ධර්ම දාන බවට පත්කර ගත හැකි ආකාරය

මහා සංඝ රත්නය වෙත දානයක් පිළියෙල කිරීමේදී හෝ පිළිගැන්වීමේදී නිවන අරමුණු කරගෙන පහත සඳහන් ආකාරයට මෛත්‍රී කිරීමෙන්, අපගේ ආමිස දාන වස්තූන් ධර්ම දාන බවට පත්කර ගැනීමට හැකිවනු ඇත.

අප විසින් ධාර්මිකව උපයන ලද ධනය වැය කොට පිළියෙල කරන ලද මෙම දාන වස්තූන් සියල්ලම, සිල්ගුණ, බණ භාවනා පිළිවෙත් පුරන සිල්වතුන් වහන්සේලාට අමා ඔසුවක්, දිව ඔසුවක් මෙන්වී, උන්වහන්සේලාට නිරෝගිභාවය ලැබෙත්වා!

ආයු, වර්ණ, සැප, බල, ඥාණ වැඩෙත්වා!

සීල, සමාධි, ප්‍රඥාවෙන් දියුණුවට පත්වෙත්වා!

ධර්මඥාණයෙන්, භාවනා ඥාණයෙන් දියුණුවට පත් වෙත්වා!

ත්‍රිපිඨකධාරී වෙත්වා!

ධ්‍යාන, අභිඥාලාභී වෙත්වා! මාර්ග ඵල ලාභී වෙත්වා!

අපගේ මෙම දාන වස්තූන් සියල්ලම උන්වහන්සේලාට නිවන්සුව පිණිසම හේතු වෙත්වා!

තවද,පහත සඳහන් ආකාරයට නිවන අරමුණු කරගෙන විදර්ශනා භාවනා මණසිකාරය පුරුදු කිරීමෙන් අපගේ ආමිස දානය තව දුරටත් ධර්ම දානයක් බවට පත්වනු ඇත.

අප විසින් නොයෙක් නම් වලින් හඳුන්වනු ලබන මෙම දාන වස්තූන් සියල්ලම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ඝන්ධ, රස, ඔජා යන ශුද්ධාෂ්ඨක රෑප කලාප සමූහ වලින් සෑදී ඇත.

ඒවා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැති වෙමින්, සිඳෙමින් බිඳෙමින් පවතින බැවින් අනිත්‍යයි!

ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැති වෙමින්, සිඳෙමින් බිඳෙමින් නිරතුරු පෙලෙමින් පවතින බැවින් දුඃඛයි!

මේවා කිසිවෙකුගේත් කැමැත්ත පරිදි නොපවතින බැවින්, නිත්‍යසාර, සුභසාර, සුඛසාර, ආත්මසාර යන ගුණයන්ගෙන් තොර බැවින් අනාත්මයි!

ඒ සියල්ලම පිළිකුල් වන බැවින් අශුභයි!

මෙසේ අනිත්‍යය, දුඃඛ, අනාත්ම, අශුභ, සියලු සංස්කාර ධර්ම දුඃඛ ආර්ය්‍ය සත්‍යයයි!

මේ දුක නැවත නැවත උපදවාදෙන තෘෂ්ණාව දුඃඛ සමුදය ආර්ය්‍ය සත්‍යයයි!

මේ දෙක නොපවත්නා වූ ශාන්ත නිවන නිරෝධ ආර්ය්‍ය සත්‍යයයි!

නිවන් අවබෝධ කරවන ආර්ය්‍ය අෂ්ඨාංඝික මාර්ගය, මාර්ග ආර්ය්‍ය සත්‍යයයි!

මාගේ මේ දානමය, සීලමය, භාවනාමය කුසලය, බුදු, පසේබුදු, මහ රහතූන් වහන්සේලා විසින් අවබෝධ කොට වදාල ඒ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වේවා! වාසනා වේවා!

අමාමහ නිවන්සුව පිණිසම හේතු වේවා! වාසනා වේවා!

පොදුවේ සලකා බැලීම සඳහා

අපගේ සර්වඥයන් වහන්සේ ද, සංස්කාර ධර්ම එකතුවක් බැවින් ජීවිත අවසානයේදී අනුපාදිශේෂ පරිනිර්වානයෙන් නිවන්පුර වැඩි සේක.

රහතන් වහන්සේලා ද පිරිනිවන් පෑ සේක. ආර්යයන් වහන්සේලා ද සුගතිගාමී වූහ. සෙසු ජනතාව ස්වකීය කර්මානුරූපව මිය පරළොව ගියහ.

වැඩ සිටි විහාරස්ථාන, රාජධානි, උයන්, පොකුණු, මාළිගා ආදිය, කාලයාගේ ඇවෑමෙන් නටබුන් විය.

ඒවාගේම, ඉරහඳ තාරකා, මහා ප්‍රතුවිය, මහාමේරු පර්වත, මහා සාගරය වැනි විශාල වස්තූන්ද, ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, ඇඳුම් පැළැඳුම්, මුදල් හදල් ආදී පාරිභෝගික වස්තූන්ද, කෑම් බීම්, බත් බුලත්, බේත් හේත් ආදිය පරිහරණය කරන ආත්මභාව සියල්ලද, සිත ඇති, සිත නැති සියලු සංස්කාර ධර්ම, ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වෙමින්, සිඳෙමින් බිඳෙමින් පවතින බැවින් අනිත්‍යයි!

ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වෙමින්, සිඳෙමින් බිඳෙමින් නිරතුරු පෙලි පෙලී පවතින බැවින් දුඃඛයි!

තමතමන්ට කැමති කැමති සේ නොපැවැති බැවින්, නිත්‍යසාර, සුඛසාර, සුභසාර, ආත්මසාර යන සාර ගුණයන්ගෙන් තොර බැවින් අනාත්මයි!

ඒ සියල්ලම පිළිකුල් වන බැවින් අශුභයි!

මෙසේ අනිත්‍යය, දුඃඛ, අනාත්ම, අශුභ සියලු සංස්කාර ධර්ම (පීලන, සංඛත, සන්තාප, විපරිනාම යන ලක්‍ෂණයන්ගෙන් යුතු බැවින්) පරමාර්ථ වශයෙන් දුඃඛ ආර්ය්‍ය සත්‍යයයි!

මේ දුක නැවත නැවත උපදවාදෙන කාම තන්හා, භව තන්හා, විභව තන්හා යන ත්‍රිවිධ තෘෂ්ණාව (ආයුහන, නිදාන, සංයෝග, පළිබෝධ යන ලක්‍ෂණයන්ගෙන් යුතු බැවින්) පරමාර්ථ වශයෙන් දුඃඛ සමුදය ආර්ය්‍ය සත්‍යයයි!

මේ දෙකෙන් තොරවූ අසංඛත ධාතු අමාමහ නිවන (නිස්සරණ, විවේක, අසංඛත, අමත යන ලක්‍ෂණයන්ගෙන් යුතු බැවින්) පරමාර්ථ වශයෙන් දුඃඛ නිරෝධ ආර්ය්‍ය සත්‍යයයි!

නිවන් අවබෝධ කරවන ආර්ය්‍ය අෂ්ඨාංඝික මාර්ගය (නෙය්‍යාන, හේතු, දස්සන, ආධිපත්‍ය යන ලක්‍ෂණයන්ගෙන් යුතු බැවින්) දුඃඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා මාර්ග ආර්ය්‍ය සත්‍යයයි!

අනන්ත අපරිමාන බුදු, පසේබුදු, මහ රහතූන් වහන්සේලා මේ උදාර චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසීමට පත්වූ සේක.

සසර දුක් තරණය කොට, කෙලෙස් ගිනි මැල නිවා ශාන්ත නිවනින් සැනසී වදාල සියලු බුදු, පසේබුදු, මහ රහතූන් වහන්සේලාට සිතින්, කයෙන්, වචනයෙන් සෑම කල්හිම අපගේ ගෞරව ආචාර නමස්කාරය වේවා!

අපටද මේ ජීවිතය පුරා රැස් කරගත්තා වූ, පෙර ජාති ජාතීන්වල රැස් කරගෙන ආවා වූද, මතු මත්තේ උපදවා ගන්නාවූ ද සෑම කුසලයක්ම බෝධිපාක්‍ෂිකධර්ම, පාරමීධර්ම බවට පත්වේවා!

ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් චතුරාර්ය ධර්මයන් එකම අසුනකදී සුවසේ අවබෝධ වේවා!



REFERENCES:
[1] සබ්බ දානං ධම්ම දානං ජිනාති – Ven. Na Uyane Ariyadhamma Thero
[2] https://pitaka.lk/books/bauddhayage-athpotha/10-1-6.html
[3] https://pitaka.lk/dhammapada/katha-251.html

ආහාර ප්‍රත්‍යවේක්‍ෂා පාඨයෙන් මතුකර ගත හැකි දහම් කරුණු කිහිපයක්

පොහොය දින වලදී අටසිල් හෝ දසසිල් සමාදන් වී දානය අනුභව කරන පින්වතුන්ගේ සිල්වත් බව වැඩිවන තරමටම, දායකත්වය දරන පින්වතුන්ගේ කුසලය මහත් ඵල, මහත් ආනිසංශ වේ. තමා සමාදන්වූ සීලය හැකි සෑම මොහොතකම මෙනෙහි කිරීම (ආවර්ජනා කිරීම) සතිය දියුණු වීමට හා ශීලය හොඳින් රැක ගැනීමට උපකාර වේ. එබැවින්, දෙතිස් කතාවලින් වැලකී, හැකි සෑම විටකම සමාදන්වූ සිල්පද මෙනෙහි කිරීම ඉතා වැදගත් ය.

මෙයට අමතරව, ආහාර අනුභව කිරීමෙදී පවා අකුසල් නූපදින ආකාරයට හා කුසල් වැඩෙන ආකාරයට ප්‍රත්‍යවේක්‍ෂා කරමින් ආහාර අනුභව කිරීම ඉතා හොඳය. ඒ සඳහා පහත සඳහන් කරුණු උපයෝගී කරගත හැක.

  • “මා මේ ආහාරය අනුභව කරනුයේ රස විඳීම පිණිස නොවේ” යැයි මෙනෙහි කිරීමෙන් රස තෘෂ්ණාව හීන වේ.

  • රසය දැනෙන්නේ දිවට නොව සිතට බවත්, සෑම සිතකම ආයු කාලය එක් චිත්තක්ෂණයක් පමණක් බවත්, මෙසේ පහල වූ සිත ඊළඟ ක්‍ෂණයේදී නිරුද්ධ වන බවත් මෙනෙහි කිරීමෙන් අනිත්‍ය ලක්‍ෂණය කෙරෙහි සිත යොමු වේ.

  • “ඔද වැඩීම පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. ක්‍රීඩා පිණිස නොවේ. ශරීරය තර කරගැනීම පිණිස නොවේ. ශරීරය පැහැපත් කරගැනීම පිණිස නොවේ” යනාදී වශයෙන් පවසන කල, ඒ හා බැඳුනු ලෝභය, මානය, දිට්ඨිය ආදී අකුසල සිතුවිලි බැහැර වේ.

  • “කාය-ජීවිත දෙක පවත්වා ගැනීම පිණිසත්, ශීලාදී ගුණ ධර්මයන් ආරක්‍ෂා කරගැනීම පිණිසත් ය” යනුවෙන් පැවසීම අප්‍රමාදී බව ඇති කර ගැනීමට උපකාර වේ.

  • “ආහාර යැයි කියනුයේ ධාතු සමූහයකි. අපගේ ශරීරයද ධාතු සමූහයකි. ආහාරය ශරීරය තුළට ඇතුලුවුනා යැයි ආහාරය නොදනී. තමා තුළට ආහාරයක් ඇතුලු වුනා යැයි ශරීරය නොදනී. ඔවුනොවුන්ගේ දැන ගැනීමක් නොමැති බැවින් මමය, මාගේය කියා ගත හැකි සත්ත්ව-පුද්ගල භාවයක් මෙහි නැත්තේමය” යනාදී වශයෙන් පවසන කල  අනාත්ම ලක්‍ෂණය කෙරෙහි සිත යොමු වේ.

  • මීට අමතරව, අනුභව කරන ආහාරයෙහි ප්‍රකටව තිබෙන පඨවි ධාතුව, දත් නැමැති පඨවි ධාතුව සමග සිදුවන ගැටීම කෙරෙහි සිත යොමු කිරීම ධාතු මනසිකාරයකි.

  • “පිරිසිදුවූ මෙම ආහාරය, අනුභව කිරීමේදී කෙල, සෙම ආදිය සමග මිශ්‍ර වීමෙන් පිළිකුල් බවට පත්වන්නේය” යනුවෙන් පවසීමෙන් අශුභය කෙරෙහි සිත යොමු වේ.

  • “මෙම දානය පිළියෙල කිරීම සඳහා තමන් විසින් ධාර්මිකව උපයාගත් ධනය වියපැහැදම් කලාවූ ද, වෙහෙස මහන්සි වුනාවූ ද, පැමිණි නොපැමිණි සියළු පින්වතුන්, නිදුක්වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!” යැයි පැවසීමෙන් මෛත්‍රිය වැඩේ.

  • අවසාන වශයෙන්, “ඔවුනගේ යහපත් බලාපොරොත්තු, ධාර්මික අදහස් සර්වප්‍රකාරයෙන් සමුර්ධිමත් වේවා! පතන්නාවූ බෝධියකින් උතුම් නිවන් සැප අත් කරගනිත්වා!” යි පවසන කල එය පින් අනුමෝදන් වීමකි.

මෙසේ, අනුභව කරන ආහාර පිඬක් පිඬක් පාසාම අවබෝධයෙන් යුතුව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් තමන්ටත්, දායකත්වය දරන පින්වතුන්ටත්, මහත් ඵල, මහත් ආනිසංශ ලබා ගත හැක.

ආර්යය සත්‍යයන්ගේ ලක්ෂණ

 

දුක්ඛ සත්‍යයෙහි ස්වභාව සතර

  • පීළන – සිත, කය රිදවන ස්වභාවය
  • සංඛත – හේතූන්ගෙන් හට ගන්නා බැවින් නැවත නැවත ඉපදවිය යුතු බව
  • සන්තාප – දවන්නා වූ ස්වභාවය. නැවත නැවත දවන්නා වූ ස්වභාවය
  • විපරිණාම – බිඳී යන්නා වූ ස්වභාවය. නැවත නැවත බිඳී යන්නා වූ ස්වභාවය

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p59-p61]


දුක්ඛ සමුදය සත්‍යයෙහි ස්වභාව සතර

  • ආයුහන – අනාගත පංචස්කන්ධයන් නැමති ජාති, ජරා, මරණ, ශෝක ආදී දුක්ඛස්කනධය නැවත නැවත රැස් කරන්නා වූ ස්වභාවය (නැවත නැවත දුක රැස් කිරීම)
  • නිධාන – වර්තමාන පංචස්කන්ධය සිඳීමත් සමග අළුත් පංචස්කන්ධයක් ලබා දෙන්නා වූ ස්වභාවය (නැවත නැවත දුක ගෙන දීම)
  • සංයෝග – සත්ත්වයා පංචස්කන්ධය නැමති දුකෙහි තදින් බැඳ තබන්නා වූ ස්වභාවය (දුකෙහි තදින් බැඳ තැබීම)
  • පළිබෝධ – සත්ත්වයා නිවන් මගට පැමිණීම වළක්වන්නා වූ ස්වභාවය (දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බාධා කිරීම)

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p110-p118]

 

දුක්ඛ නිරෝධ සත්‍යයෙහි ස්වභාව සතර

  • නිස්සරණ – ක්ලේශයන්ගෙන් හා දුක්ඛයෙන් මිදුනු බව.
  • විවේක – ක්ලේශයන්ගෙන් හා දුක්ඛයෙන් හිස් බව.
  • අසංඛත – පවත්වා ගැනීමක්, නැවත නැවත උපදවා ගැනීමක් නැති බව
  • අමත – කිසි කලෙක නොබිඳෙන, නොනැසෙන ස්වභාවය

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p129-p132]


දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍යයෙහි ස්වභාව සතර

  • නෙයියාන – සසරින් එතරට පමුණුවන්නා වූ ස්වභාවය
  • හේතු – නිවන් ලැබීමට හේතු වන ස්වභාවය
  • දස්සන – නිර්වාණය ඇතුළු චතුරාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා වූ ස්වභාවය
  • ආධිපත්‍ය – ලෝකෝත්තර මාර්ගය ලබා ගත් සත්ත්ව සන්තානයට අධිපතිකම් කරන්නා වූ ස්වභාවය

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p169-p172]

 

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය

 

සප්ත විශුද්ධිය

  1. ශීල විශුද්ධිය – ශීල විශුද්ධිය යනු පිරිසිදු සීලය යි.
  2. චිත්ත විශුද්ධිය – චිත්ත විශුද්ධිය යනු සිත කිලිටි කරන නීවරණයන් යටපත් කිරීමට සමත් බලවත් සමාධිය යි.
  3. දිට්ඨි විශුද්ධිය – දිට්ඨි විශුද්ධිය යනු නාම රූපයන් ඇති සැටියට දක්නා වූ, ඝන සංඥාව, ආත්ම දෘෂ්ටිය දුරුකරන්නා වූ ඥානය යි. (නාම රූප පරිච්ඡේද ඥානය)
  4. කංඛා විතරණ විශුද්ධිය – කංඛා විතරණ විශුද්ධිය යනු අතීත, අනාගත නාමරූප ස්කන්ධ පිළිබඳ පවතින සැක දුරු කරන්නා වූ, නාම රූපයන්ගේ උත්පත්ති හේතූන් දන්නා ඥානය යි. (නාම රූපයන්ගේ හේතු ඵල සම්බන්ධය දක්නා ඥානය)
  5. මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය – මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය යනු විදර්ශනා උපක්ලේශයන් දුරු කොට විදර්ශනා භාවනාව දියුණු වීම සඳහා ගත යුතු නිවැරදී මාර්ගය හා වැරදි මාර්ගය දැන ගන්නා වූ නුවණයි.
  6. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය – ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය යනු උදයව්‍ය ඥානයේ පටන් අනුලෝම ඥානය දක්වා ඇති විදර්ශනා ඥාන 9 යි.
  7. ඥාන දර්ශන විශුද්ධිය – ඥාන දර්ශන විශුද්ධිය යනු ලෝකෝත්තර මාර්ග සතර යි.

 

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය, p318- 332]
[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, විදර්ශනා භාවනා ක්‍රමය, p47-204]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, විදර්ශනා භාවනා ක්‍රමය

විදර්ශනා ඥාන 10

 

  1. සම්මර්ශන ඥානය – ඝන සංඥාව බිඳී, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ දක්නා ඥානය.
  2. උදයව්‍යය ඥානය – සංස්කාරයන් උපදින ආකාරයත්, බිඳි බිඳී යන ආකාරයත් දක්නා ඥානය.
  3. භංගානුදර්ශන ඥානය – සංස්කාරයන්ගේ බිඳීම පමණක් දක්නා ඥානය.
  4. භයතුපට්ඨාන ඥානය – බිඳි බිඳී යන සංස්කාරයන් භයානක දෙයක් සැටියට, බිය විය යුත්තක් සැටියට දක්නා ඥානය.
  5. ආදීනව ඥානය – සංස්කාරයන්ගේ බිඳීම කිසිවිටෙක නොනැවැත්විය හැකි බව, එහි අසරණ බව දක්නා ඥානය.
  6. නිබ්බිදා ඥානය – සංස්කාරයන් පිළිබඳ කළකිරුනු ස්වභාවයෙන් යුක්ත ඥානය.
  7. මුඤ්චිතුකම්‍යතා ඥානය – සංස්කාරයන්ගෙන් මිදීමේ අදහසින් යුක්ත ඥානය.
  8. පටිසංඛානුපස්සනා ඥානය – සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විස්තර වශයෙන් දක්නා ඥානය.
  9. සංඛාර උපේක්ෂා ඥානය – සංස්කාරයන් පිළිබඳ ඇල්ම හා බිය දුරු කරමින් ඒවා පිළිබඳ මධ්‍යස්ථ වන්නා වූ ඥානය.
  10. අනුලෝම ඥානය – කලින් ඇති වූ විදර්ශනා ඥානය වලට හා මතු ලබන්නා වූ මාර්ග ඥානයට අනුකූලව පවත්නා වූ විදර්ශනා ඥානය.

 

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, අභිධර්ම මාර්ගය, 328-331]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය