අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා – ගණක මොග්ගල්ලාන සූත්‍රය

බුදුරජාණන් වහන්සේ විසින් ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට පැවසූ, භික්ෂූන් හික්මවීමේ අනුපුබ්බ සික්ඛා (පිළිවෙළින් හික්මීම), අනුපුබ්බ කිරියා (පිළිවෙළින් කිරීම), අනුපුබ්බ පටිපදා (පිළිවෙළින් පිළිපැදීමේ) මාර්ගය:

  • දමනය කිරීමට සුදුසු පුද්ගලයෙකු ලැබුන විට තථාගතයන් වහන්සේ ඔහුව මෙසේ හික්මවයි. එව මහණ, සිල්වත් වන්න. ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවර වන්න. ආචාර හා ගොචර සම්පන්න වන්න. සුළු වරදෙහි පවා භය දකිමින් වාසය කරන්න. සමාදන්ව ශික්ෂාපද රකින්න.
  • යම් අවස්ථාවක එම භික්ෂුව සිල්වත් වෙත් ද, එවිට තථාගතයන් වහන්සේ ඔහුව මෙසේ හික්මවයි. එව මහණ, ඉන්ද්‍රියයන් පිළිබඳව රක්නාලද දොරටු ඇතිව වාසය කරන්න. ඇසින් රූපය දැක නිමිති ගන්නෙක්, අනු ව්‍යඤ්ජන (කුඩා සලකුණු) ගන්නෙක් නොවන්න. මේ චක්ෂුරින්ද්‍රියයෙහි (ඇසෙහි) සංවර නැති වීමෙන් ලෝභය, ද්වෙෂය යන ලාමකවූ අකුසල ධර්ම ඇති වන බැවින්, එහි සංවරය පිණිස පිළිපදින්න. චක්ෂුරින්ද්‍රිය රකින්න. චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්න. එසේම ඉතිරි ඉන්ද්‍රියයන් ද රකින්න.
  • යම් අවස්ථාවක එම භික්ෂුව ඉන්ද්‍රීය සංවරයෙන් යුක්ත වන්නේ ද, එවිට තථාගතයන් වහන්සේ ඔහුව මෙසේ හික්මවයි. එව මහණ, ආහාරයෙහි පමණ දැන වළඳන්න. නුවණින් සලකා ආහාරය ගන්න. ක්‍රීඩා පිණිස නොව, මද වැඩීම පිණිස නොව, සැරසීම පිණිස නොව, අලංකාර කිරීම පිණිස නොව, මේ ශරීරයෙහි පැවැත්ම පිණිස, යැපීම පිණිස, පීඩා වැලැක්ම පිණිස, බ්‍රහ්මචර්‍ය්‍යාවට අනුග්‍රහ පිණිස පමණක් ආහාර වළඳන්න. මෙසේ උපන් වේදනා (කුස ගින්න) නැසීම පිණිස ද, නූපන් වෙදනා (පමණට වඩා වැළඳීමෙන් ඇති වන වේදනා) නූපද වීම පිණිස ද වළඳන්න. ජීවිත යාත්‍රාවද, නිරවද්‍ය භාවයද, පහසු විහරණයද පිණිස පමණක් වළඳන්න.
  • යම් අවස්ථාවක එම භික්ෂුව ආහාරයෙහි පමණ දැන වළඳන්නේ ද, එවිට තථාගතයන් වහන්සේ ඔහුව මෙසේ හික්මවයි. එව මහණ, ජාගරියානුයෝගයෙහි (නිදි දුරු කිරීමේ ප්‍රතිපදාවෙහි) යෙදී වාසය කරන්න. දවල් කාලය සක්මනින්ද, පර්යංකයෙන් ද, සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කරමින් වාසය කරන්න. රාත්‍රියගේ ප්‍රථම යාමයෙහි සක්මනින්ද, පර්යංකයෙන් ද, සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කරමින් වාසය කරන්න. රාත්‍රියගේ මධ්‍යම යාමය දකුණු ඇලයෙන්, දකුණු පයෙහි වම්පය මඳක් ඉක්මවා තබා, සිහි ඇතිව, නුවණ ඇතිව නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට සිංහ සෙය්‍යාවෙන් සයනය කරන්න. රාත්‍රියගේ පශ්චිම යාමයෙහි නින්දෙන් නැගිට සක්මනින්ද, පර්යංකයෙන් ද, සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කරමින් වාසය කරන්න.
  • යම් අවස්ථාවක එම භික්ෂුව ජාගරියානුයෝගයෙහි යෙදී වාසය කරන්නේ ද, එවිට තථාගතයන් වහන්සේ ඔහුව මෙසේ හික්මවයි. එව මහණ, සති සම්පජන්යයෙන් යුක්ත ව වාසය කරන්න. ඉදිරියට ගමන් කිරීමෙහිද, ආපසු ගමන් කිරීමෙහිද, ඉදිරිපස බැලීමෙහිද, හැරී බැලීමෙහිද, අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද,  දෙපට සිව්ර හා පා සිව්රු දැරීමෙහි, අනුභව කිරීමෙහි, පානය කිරීමෙහි, කඩා කෑමෙහි, රස විඳීමෙහි, මලමුත්‍ර පහකිරීමෙහි, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදි දුරුකිරීමෙහි, කීමෙහි, කතා නොකිරීමෙහි ආදියෙහි නුවණින් යුක්ත වූවෙක් වන්න.
  • යම් අවස්ථාවක එම භික්ෂුව සති සම්පජන්යයෙන් යුක්ත වන්නේ ද, එවිට තථාගතයන් වහන්සේ ඔහුව මෙසේ හික්මවයි. එව මහණ, විවේක ඇත්තාවූ සේනාසනයක වාසය කරන්න. එනම්, අරණ්‍යය, වෘක්ෂමූලය, පර්වතය, කඳුරැළිය, පර්වත ගුහාවය, සොහොනය, එළිමහන, පිදුරු බිස්ස යනාදිය යි.
  • යම් අවස්ථාවක එම භික්ෂුව විවේක ඇත්තාවූ සේනාසනයක වාසය කරන්නේ ද, එවිට එම භික්ෂුව, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී, පළඟ බැඳගෙන, කය ඍජුව පිහිටුවා, අරමුණෙහි සිහිය පිහිටුවා හිඳියි. ලොභය, විෂම ලොභය රහිත සිතින් වාසය කරයි.  ලොභයෙන් සිත පිරිසිදු කරයි. ද්වෙෂය දුරුකොට ද්වෙෂ රහිත සිත් ඇතිව, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරයි. ව්‍යාපාදයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය හැර ආලොක සංඥාව ඇතිව, සිහි නුවණ දෙකින් යුක්තව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන් කම හා පසු තැවීම) දුරුකොට සන්සුන්ව, සංසිඳුනු සිත් ඇතිව වාසය කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව හැර සැක නැතිව (කුසල ධර්මයන් කෙරෙහි) වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.
  • එවිට එම භික්ෂුව පඤ්චනීවරණයන් හැර, කාමයන්ගෙන් වෙන්ව, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක හා විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියෙහිද නොඇල්මෙන් උපෙක්ෂාවෙන්ද, සිහි නුවණ දෙකින්ද, යුක්තව තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපයාගේද දුරු කිරීමෙන් දුක්ඛයාගේද දුරු කිරීමෙන් උපෙක්ෂා  සමාධි දෙදෙනාගේ පිරිසිදු කම ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.
  • රහත් නොවූ, නිවණ පතමින් වාසය කරන්නා වූ භික්ෂූන්ට මාගේ අනුශාසනාව මෙයයි. රහත් වූ භික්ෂූන්ට ද, මේ ආත්මයෙහි සැප විහරණය පිණිස ද, සිහි නුවණ දෙකින් යුක්තවීම පිණිස ද මෙය හේතු, වේ.

 

Further reading: