පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය

පංචස්කන්ධය

  • රූප ස්කන්ධය – රූප 28
  • වේදනා ස්කන්ධය – වේදනා චෛතසිකය
  • සංඥා ස්කන්ධය – සංඥා චෛතසිකය
  • සංස්කාර ස්කන්ධය – වේදනා, සංඥා හැර ඉතිරි චෛතසික 50
  • විඤ්ඤාණ ස්කන්ධය – සිත් 89

සතර පරමාර්ථ ධර්මයන්ගෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පංචස්කන්ධයට අයත් ය (රූප 28, චිත්තය, චෛතසික 52). කාලයකට අයත් නොවන බැවින් හා එක් ධර්මයක් ව පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත. එබැවින් එය ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවේ.

ආත්ම සංඥාව මෙම කොටස් පහේ වෙන වෙන ම ඇති වේ. නාමරූප ධර්ම මෙසේ 5කට බෙදා තිබෙන්නේ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා ය. 


පංචඋපාදානස්කන්ධය

ඉහත සඳහන් පංචස්කන්ධය, මගේ ය, මම ය, වශයෙන් තදින් ගන්නා තණ්හා, දිට්ඨි යන ධර්ම දෙක උපාදාන නම් වේ. මෙහිදී සම්පූර්ණ  පංචස්කන්ධය ම උපාදානයට හසු නොවේ. එනම් ලෝකෝත්තර ධර්ම උපදානයන්ට හසු නොවේ. එයට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන ලෞකික ධර්මයන් ය.

සසර දුකින් මිදීමට උපාදාන නැති කළ යුතු ය. ඒ සඳහා උපාදානයන් වැඩීමට ස්ථාන වන නාම රූප ධර්ම විදර්ශනා කළ යුතු ය. විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන් කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ 5 වදාරා තිබේ.

  • රූප උපාදානස්කන්ධය – රූප 28
  • වේදනා උපාදානස්කන්ධය – ලෞකික සිත් 81හි උපදින වේදනා චෛතසිකය
  • සංඥා උපාදානස්කන්ධය – ලෞකික සිත් 81හි උපදින සංඥා චෛතසිකය
  • සංස්කාර උපාදානස්කන්ධය – ලෞකික සිත් 81හි උපදින ඉතිරි චෛතසික 50
  • විඤ්ඤාණ උපාදානස්කන්ධය – ලෞකික සිත් 81

 

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය, 237 – 239]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය

2 thoughts on “පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය

  1. Saheli Kulatunga March 13, 2022 / 10:21 pm

    Very good for children also♡can easily fount the facts ♡ Thank you ♡ Theruwan Saranai 🙏🙏

    Like

Leave a comment