සංඝ රත්නයේ ගුණ (sanga guna)

1. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඟෝ

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥාවෙන් යුක්ත වූ සුන්දර ප්‍රතිපත්තියකට (ආර්ය අෂ්ටාංගික මාර්ගයට) පිළිපන් බැවින් සුපටිපන්න නම් වන සේක.

2. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඟෝ

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥාවෙන් යුක්ත වූ, ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් උජුපටිපන්න නම් වන සේක.

3. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඟෝ

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥාවෙන් යුක්ත වූ, නිවන් දක්නා වූ ප්‍රතිපත්තියකට පිළිපන් බැවින් ඤායපටිපන්න නම් වන සේක.

4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඟෝ

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥාවෙන් යුක්ත වූ, ගරු කළ යුතු ප්‍රතිපත්තියකට පිළිපන් බැවින් සාමීචිපටිපන්න නම් වන සේක.

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඟෝ ආහුනෙයියෝ

යුගල වශයෙන් සතරක් හා පුද්ගලයින් වශයෙන් අට දෙනෙක් වන (සෝවාන් මාර්ගයට පිවිසි හා සෝවාන් ඵල සහිත, සකෘදාගාමි මාර්ගයට පිවිසි හා සකෘදාගාමි ඵල සහිත, අනාගාමි මාර්ගයට පිවිසි හා අනාගාමි ඵල සහිත, අරහත් මාර්ගයට පිවිසි හා අරහත් ඵල සහිත) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, ඉතා දුර සිට ගෙනෙන ලද සිව්පසේ පිළිගැනීමට සුදුසු බැවින් ආහුනෙයිය නම් වන සේක.

6. පාහුනෙයියෝ

තමා සතු ප්‍රණීත දෙයින් සංග්‍රහ, සත්කාර, පූජා කිරීමට සුදුසු බැවින් ද, ඉතා දුර බැහැර සිට පැමිණෙන ඥාතීන් සඳහා පිළියෙල කරන ලද ආහාර පානයන් පිළිගැනීමට සුදුසු බැවින් ද, පාහුනෙයිය නම් වන සේක.

7. දක්ඛිනෙයීයෝ

මෙලොව පරලොව සැපවත් වීම උදෙසා කරන සියළු පූජාවන් පිළිගැනීමට සුදුසු බැවින් ද, දීමෙහි ආනිසංස මහත් පල මහානිසංස කිරීමෙහි සමත් වන බැවින් ද, දක්ඛිනෙයිය නම් වන සේක.

8. අන්ජලිකරණෙයියෝ

ලෝකයා විසින් ඇඟිලි බැඳ, දොහොත් මුදුනෙහි තබා වන්දනාවට, ගරු සත්කාරයට සුදුසු බැවින් අන්ජලිකරණෙයිය නම් වන සේක.

9. අනුත්තරං පුඤ්ඤංඛෙත්තං ලෝකස්සාති

ලෝකයා හට පින් කෙතක් (පුණ්‍යක්‍ෂේත්‍රයක්) වන බැවින් අනුත්තරං පුන්‍යක් කෙත්තං නම් වන සේක.

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – සූවිසි මහා ගුණය

ධර්ම රත්නයේ ගුණ (daham guna)

1. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ

තථාගතයන් වහන්සේගේ ධර්මය මුල, මැද, අග යහපත් වන පරිදි, මනා කොට දේශනා කරන ලද බැවින් ස්වාක්කාතෝ නම් වන සේක.

2. සන්දිට්ටිකෝ

සතර මාර්ග, සතර ඵල, උතුම් නිවන යන නව ලෝකෝත්තර ධර්මය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට, තම තමා විසින්ම දැකිය හැකි බැවින් සන්දිට්ටිකෝ නම් වන සේක.

3. අකාලිකෝ

ධර්මයට අනුව හැසිරෙන්නන්ට වර්ෂ ගනන්, මාස ගනන්, දින ගනන් ගත නොවී, එවෙලෙහි ම ඵල ලැබිය හැකි බැවින් අකාලිකෝ නම් වන සේක.

4. ඒහි පස්සිකෝ

පරීක්ෂා කර බැලීමට, පිළිවෙත් පිරීමට ආරාධනා කිරීමට සුදුසු ධර්මයක් බැවින් ඒහි පස්සිකෝ නම් වන සේක.

5. ඕපනයිකෝ

තම සන්තානයේ පහල කර ගැනීමට, වර්ධනය කර ගැනීමට සුදුසු ම ධර්මය බැවින් ඕපනයිකෝ නම් වන සේක.

6. පච්චත්තං වේදිතබ්බෝ වින්ඤ්ඤූහීති

මෙම ධර්මය සාක්ෂාත් කරගත් සත්පුරුෂයාට එහි යහපත් බව,  එහි රස තම සිතින් ම දැනගෙන, විඳිය හැකි බැවින් පච්චත්තං වේහි තබ්බෝ වින්යූ හීති නම් වන සේක.

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – සූවිසි මහා ගුණය

නව අර්හාදී බුදු ගුණ (budu guna)

1. අරහං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක

2. සම්මා සම්බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. විජ්ජාචරණ සම්පන්නෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. සුගතෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.

5. ලෝක විදූ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.

6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්‍ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.

7. සත්ථා දේවමනුස්සානං

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්‍රතිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

8. බුද්ධෝ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය ලෝකයාට අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

9. භගවා

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් හා ෂඩ් භාග්‍යය ගුණයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – සූවිසි මහා ගුණය