ඡත්ත මානවක ගාථා (යෝ වදතං පවරෝ)

යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි
තං සුගතං සරණත්ථමුපේමි

කථා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙකු වෙතිද, ඒ අවබෝධ කරගතයුතු සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ය. ප්‍රඥා බල මහිමයෙන් හා චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේ ව සාදරයෙන් සරණ යමි.

 

රාග විරාග මනේජ මසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි

රාගය නැති කරන්නා වූ, ශෝක රහිත වූ, තෘෂ්ණාව රහිත වූ, අසංකත වූ මෙම ධර්මය පිළිකුල් රහිත ය.  මනා කොට ප්‍රගුණ කළහොත් අනන්ත සුන්දරත්වයක් සාක්ෂාත් කර දෙන්නේ ය. ඒ නිර්වාණ ධර්මය සාදරයෙන් සරණ යමි.

 

යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසූ පුරිස යුගේසූ
අට්ඨ ච පුග්ගල ධම්ම දසාසේ
සංඝමිමං සරණත්ථමුපේමි

යම් කෙනෙකුට පිදීමෙන් මහත් ඵල, මහත් ආනිසංස ලැබේද? ඒ පුද්ගල යුගල වශයෙන් වූ සතර දෙනෙක් වූ, පාරිශුද්ධ වූ, සංඝයා වහන්සේලාට දීමෙන් ය. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනෙකු වේ. ඒ සංඝ රත්නය සාදරයෙන් සරණ යමි.

 

 

References:

Many thanks (and good karma) to the people responsible for the following links:

[1] https://www.facebook.com/notes/peace-in-buddha-buddhism/ඡත්ත-මානවක-ගාථා-වල-සරල-සිංහල-තේරුම/250170535162172/
[2] http://mahamevnawa.org.au/wp-content/uploads/2013/04/Chatta-Manawaka-Story.pdf
[3] http://www.silumina.lk/2013/12/15/_art.asp?fn=ay1312158&p=1
[4] http://www.lakehouse.lk/budusarana/2011/01/26/tmp.asp?ID=fea03

 

ආනාපාන සති භාවනාව

 – පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි

භාවනා ක්‍රම දෙකකි. ශමථ භාවනා විදර්ශනා භාවනා වශයෙනි. ශමථ භාවනාවෙන් සිතේ එකඟ බව සංසුන් බව වැඩෙයි. කෙලෙස් යටපත්වෙයි. සමහර ශමථ භාවනාවෙකින් උපචාර සමාධි අවස්ථාව තෙක් ද, සමහරෙකින් රූපාවචර අර්පණා සමාධි තෙක්ද, සමහරෙකින් අරූපාවචර සමාධි අවසන් කොට ද සිතේ එකඟ බව වැඩෙයි. විදර්ශනා භාවනාවෙන් ලොව යථා තත්ත්වයට දක්නා නුවණ වැඩෙයි. කෙලෙස් තුනී වෙවී ගොස් සෝතාපත්ති ආදි මාර්ග ඵල අවස්ථාවලට සිත වැඩේ. අවසානේ සියලු කෙලෙස් නසා රහත් බවට පැමිණෙයි.

ආවරණ තුන

භාවනාවෙන් උසස් ඵල ලැබිය හැක්කේ කර්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ යන තුන් බාධකවලින් මිදුණු සැදැහැවත් නුවණැති උත්සහවන්තයා විසිනි.

  • කර්මාවරණ යනු මව මැරීම, පියා මැරීම ආදී ආනන්තරිය පාපයක් කර ඇති බවය.
  • විපාකාවරණ යනු ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලත් බවය. ද්විහේතුක හෝ අහේතුක ප්‍රතිසන්ධියෙකින් උපත ලත් අයට මෙ අත් බව්හි දී ධ්‍යාන, මාර්ග ඵල කිසිත් ලැබිය නොහැකිය.
  • ක්ලේශාවරණයෙන් යුක්තයෝ නම් නියත මිථ්‍යාදෘෂ්ඨිකයෝත්, උභතෝව්‍යංජනකයෝත්, නපුංසකයෝත් ය.

පරිබෝධ

භාවනා වඩනු කැමැත්තහු විසින් පළමු කොට දශ පරිබෝධ (භාවනාව වැඩීමට බාධක ව සිටින කරුණු දහය) දුරු කට යුතු වෙයි. ආවාස, කුල, ලාභ, ගණ, කර්මාන්ත, ගමන්, ඥාති, ආබාධ, ග්‍රන්ථ, සෘද්ධි යනු පරිබෝධ බාධක දහයයි.

• ආවාස යනු වාසස්ථානයයි. බඩු බහිරාදියෙන් පිරුණු ගෙය නොයෙක් සම්බාධ ඇති එකෙකි. එවැනි තැන යෝගියාට වාසයට සුදුසු නොවේ.

• කුල යනු නෑදෑ පිරිසය. උපස්ථායක (දායක) පවුල්ය. ඔවුන්ගේ සුව දුක් විමසමින් ඔවුන් ගේ කටයුතු සොයන්නට බලන්නට වීමද භාවනාවට බාධකයෙකි.

• ලාභ යනු සිවුරු පිරිකර ආදී වශයෙන් ලැබෙන දෑයි. පින් ඇති ලාභී භික්ෂු නමට ගිය තැන සත්කාර සම්මාන ලැබෙයි. උපාසක උපාසිකාවරු නානාවිධ පිරිකර ගෙනවුත් ඔහුට පිරිනමති. ගිහියාට ද නෑදෑ යහලු මිතුරන්ගෙන් නොයෙක් තෑගි බෝග ලැබේ. ඒවාට සැලකිල්ල දක්වන්නට ගියොත් භාවනාවට අවකාශ නොලැබේ. භාවනානුයෝගියා ලාභ ලැබීමේ මං කෙරෙන් ඈත් විය යුතුය.

• ගණ යනු පිරිවරයි. පැවිද්දකුට නම් තමාගෙන් ඉගෙන ගන්නා සිසු පිරිසත්, නිතර පාහේ යම් යම් දෑ සඳහා සාකච්ඡාවට එන ගිහි පිරිසුත්ය. ගිහියාට සිය නෑදෑ පිරිස්, ගනු දෙනු කරන්නෝ, මෙහෙකරු පිරිස් ආදිහු ය. ඉගැනුම් භාවනා අරමුණෙහි සිත රඳවා තබන්නට එය මහත් බාධකයෙක් වෙයි. පැවිද්දෙක් වී නම් සිය සිසුවන් අන් තෙර නමකට පවරා තමා එකලා විය යුතු. ගෘහස්ථයා ද දූදරු ආදීනට තමාගෙන් ඉටු වියැ යුතු දෑ සියල්ල සපුරා හෝ අන් සුදුසු කෙනෙකුට පවරා එකලා විය යුතු.

• කර්මාන්ත යනු පැවිද්දකුට නම් විහාරයේ ප්‍රතිසංස්කරණ වැනි දෑය. ඒවා නිමවා හෝ අන් කෙනෙකුට පවරා පැවිදි තැන සියලු වගකීම් කෙරෙන් ඉවත් විය යුතුය. ගෘහස්ථයා ද තමාගේ රැකියා කටයුතු අන්කෙනෙකුට පවරා හෝ නිදහස් විය යුතුය.

• ගමන් යනු තමාගේ හෝ අනෙකකු ගේ කටයුත්තකට ඈතකට යන්නට බැඳී සිටීමයි. එවැනි අවස්ථාවලදී ද ඒ ගමන් ගොස් කටයුත්ත නිමවා හෝ එය අන් කෙනෙකුට පවරා හෝ ඒ බරින් ද නිදහස් විය යුතු.

• ඥාති යනු නෑදෑයෝය. මා පියෝ, ආචාර්යය උපාධ්‍යායයෝ, සහෝදර ආදීහුය. ඔවුනට තමාගෙන් ඉටුවිය යුතු ඇප උපස්ථාන සත්කාර උපකාර ඇතොත්, ඒවා සපුරාලීමට සුදුසු විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ වගකීමෙන් නිදහස් විය යුතු. ඔහු රෝගාබාධාදියෙකින් පෙළෙත් නම් ප්‍රතිකාර සාත්තු සප්පායම් කොට නිරෝගී වූ පසු ව තමා ගේ භාවනා කාර්ය ඇරැඹිය යුතුය. නැතහොත් ඔවුනට ප්‍රතිකාර සාත්තු සප්පායම් ආදිය කිරීම එයට සමත් විශ්වාසී කෙනෙකුට පවරා තමා ඒ බරින් නිදහස්ව භාවනා කර්මයට බැස්ස යුතු.

• ආබාධ පරිබෝධය යනු තමාට වැළදී ඇති ලෙඩකි. එයට ප්‍රතිකාර කොට සුවය ලබා ගත යුතුය. සුවය ලැබීම දුෂ්කර වී නම් “මම මේ රූප ශරීරයට වහල් නොවෙමි” යි ඉටා, සිතට ධෛර්යය නංවා රෝගය මැඩ, කමටහන් වැඩීමෙහි යෙදිය යුතුය.

• ග්‍රන්ථ පරිබෝධය යනු ධර්ම ශාස්ත්‍ර ඉගැන්මයි. ඉගැනීමෙහි යෙදුණකුට ඉඩ ඇති පරිදි ස්වල්ප වශයෙන් භාවනාවක් කට හැකි වා මිස උසස් ප්‍රතිඵල ලැබෙන තරමට දිගට ම එය පැවැත්විය නොහැක්ක. සෑහෙන තරම් දුරට ඉගෙන, එයින් පසු කමටහන් වැඩීම පටන් ගත යුතුය. නැතහොත් ඉගෙන ගත් පමණින් සෑහීමට පත්ව, ඉගැනීම නතර කොට, භාවනා කර්මයට බැස්ස යුතුය. පොත් පත් ලිවීම ආදී කටයුතුත් මෙසේම අවසන් කොට හෝ නතර කොට භාවනා කර්මයට බැස්ස යුතුය.

• සෘද්ධි පරිබෝධය යනු විදර්ශනා වැඩීමට බාධක වූ ලෞකික සෘද්ධියයි. රූපධ්‍යාන වඩා පරසිත් දැනුම් ආදී කිසි සෘද්ධියක් කෙනෙකු ලබා ගත්තත් එය පිරිහී යෑ නොදී නිතර සමාධියට සම වැදීම ආදියෙන් දුක සේ රැක ගත යුත්තෙකි. ටික දිනක් සමාධිය වැඩීම අත පසු වූවොත් ඒ සෘද්ධිය නැති වී යයි. කිසි ප්‍රමාදයෙකින් කෝපය හෝ රාගය වැනි අකුසල් දහමක් සිතෙහි මතු වුණත් එය නැති වී යෑ හැකියි. එය රැක ගන්නට සිතා, රූපාවචර සමාධිය රැක ගැන්මේ ම ඇළී සිටිය හොත් විදර්ශනා භාවනාවට ඉඩ නොලැබේ. එබැවින් එවැනි කිසි සෘද්ධියක් ලබා ඇති යෝගියා එහි ඇල්ම හැර දමා විදර්ශනාව ඇරැඹිය යුතුය.

කල්‍යාණ මිත්‍රාශ්‍රය

මෙහි දැන් කී පරිදි දශ බාධකයන් දුරුකොට භාවනා වඩනු කැමැත්තහු විසින් කල්‍යාණ මිත්‍රාශ්‍රයය ලැබිය යුතු. කල්‍යාණ මිත්‍රාශ්‍රයය යනු භාවනා උපදේශ දෙන ගුරුවරයකු ඇසුරු කිරීමයි.

ප්‍රධානම කල්‍යාණ මිත්‍රයා, කර්මස්ථාන දෙන ප්‍රධාන ආචාර්යවරයා, භාග්‍යවත් බුදු රජාණන් වහන්සේයි. උන් වහන්සේ නැති නැත අසූ මහා ශ්‍රාවකයන් ගෙන් කෙනෙකු ආචාර්ය කැරැ ගත යුතුය. එසේත් කෙනෙකු හෝ නොලදොත් අන් කිසි රහත් නමක ඇසුර ලැබිය යුතුය. රහත් නමක්ද නො ලදොත් අනාගාමි කෙනෙකු ඇසුරු කළ යුතුය. අනාගාමියකු නො ලදොත් සකෘදගාමියකු ද එසේ වූ කෙනෙකු නො ලදොත් සෝවාන් වූ කෙනෙකු ගුරු කොට ගත යුතුය.

රහත්හු, අනාගාමීහු, සකෘදගාමීහු, සෝවාන්හු “මම මෙනම් අධිගමයක් ලබා ඇත්තෙකිමි” යි. අනුනට අඟවත් ද? නැත. එහෙත් විමසන්නා විමසුන් වැඩීමෙහි ලැදියාව ඇති කෙනෙකු බව දැන ගත්තොත්. ඔහු කෙරෙහි කරුණාවෙන් ඔහුට උපදෙස් දෙනු පිණිස තමන් ලබා ඇති ආර්යය තත්ත්වය හෙළි කෙරෙත්. එබැවින් කමටහන් වඩනු රිසියහුට ආර්ය පුද්ගලයකු ගේ ඇසුර ලබාගත හැක්ක.

සෝවාන් වූ කෙනෙකුත් සොයා ගත නොහැකි වුවොත් ත්‍රිපිටක ධර්මය අතේ ගැඹුරු දැනුම් ඇති සිල්වත්, ගුණවත්, කාරුණික ආචාර්යවරයකු ගේ උපදෙස් ලැබිය යුතු. ඇසුරු කළ යුතු ආචාර්යවරයා ගේ සැටිය විශුද්ධි මාර්ගයෙහි මෙසේ දැක්වේ:

පියො ච ගරු භාවනිය්‍යො
චත්තා ච වචනක්ඛමො
ගම්භිරං ච කථං කත්තා
නො වාට්ඨානෙ නියොජයෙ

“ඒ ඇදුරු තෙම සිල්වත් බැවින් කාටත් ප්‍රිය වූ ගරු කටයුතු සම්භාවනීය කෙනෙකි. උපදෙස් දීමේ නොමැලියෙකි. ශිෂ්‍යයා කොතරම් ප්‍රශ්න ඇසුවත් ඒ සියල්ල ඉවසන කෙනෙකි. ගැඹුරු දහම් පද ලිහිල් කොට කියා දීමෙහි හැකියාව ඇත්තෙකි. ප්‍රශ්න කරන, ඇසුරු කරන ශිෂ්‍යයා නො නිසි අතෙක නො යවන්නෙකි.”

මෙහි කී ගුණාංගවලින් යුත් උගත් ධර්මධර සිල්වත් ගුරුවරයකු ගේ ම ඇසුර ලබා ඔහු දෙන උපදෙස් අනුව භාවනාව වැඩිය යුතුය.

ආනාපාන සතිය වඩනු කැමැත්තහු විසින් එය වඩන සැටි ගුරුවරයා ගෙන් අසා දැන ගත යුතුය. කොයි හැටියෙකිනුත් ගුරුවරයකු සොයා ගත නොහැකි වූවොත් භාවනා ක්‍රම පිළිබඳ විස්තර සඳහන් පොත පත කියවා භාවනා මාර්ගයේ මුල මැද අග හොඳට තේරුම් ගෙන එහි උපදෙස් අනුව ඔවුන් වැඩිය යුතුය. භාවනාව පටන් ගන්නට කලින් තමා හඳනා පෙරෝනා වස්ත්‍රාදිය ශුද්ධ පවිත්‍ර කැර ගත යුතුය.

ඊළඟට “අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා” යි කී පරිදි උවදුරු නැති අරණ්‍යයකට හෝ කිසිවකුගෙන් සම්බාධ නැති රුක් මුලකට හෝ කිසිම කෙනකු නොවසන ගෙයකට හෝ පැමිණිය යුතුය. එහි තමා ඉඳීමට නියම කොට ගත් තැන අතුපතු ගා, ශුද්ධ පවිත්‍ර කොට එහි ඉඳ ගැන්මට තණ ඇතිරියක් හෝ කොහු මෙට්ටයක් වැනි දැයක් හෝ අතුරා ආසනය සකස් කැරැගත යුතුයි.

සමහරු දන නමා බද්ධපර්යංකයෙන් හෝ හසරමිණිය ගොතා ගෙන හෝ වැඩි වේලාවක් ඉදිනු නො හැක්කෝය. පුටුවෙක ඉඳීම ඔවුනට පහසුය. එවැන්නා කොන්ද කෙළින් සිටුනා ලෙසට හේත්තු වන පුවරුව ඇති පුටුවෙක කුදු නො ගැසී කෙළින් ඉඳගත යුතුය.

ඇතිරියෙක පැදුරෙක මෙට්ටයෙක හෝ පලක් බැඳ හෝ හසරමිණිය ගොතා ගෙන ඉඳ ගන්නහු ද පිටකොන්ද කෙළින් පිහිටුවා ඉන් ද යුතුය. “මගේ චිත්ත පාරිශුද්ධිය පිණිස ම මේ භාවනා වැඩීම කරමි” යි අධිෂ්ඨාන කළ යුතුය.

මුළු කාලය ම භාවනායෙහි යෙදෙනු නොහැකි අය අඩුම ගණනේ උදේ පැයකුත් සැන්දෑවේ හෝ රාත්‍රියේ පැයකුත් සෑම දා ම භාවනාවට වෙන් කැරැගත යුතුය.

ආරම්භය

භාවනා වඩන හැමකෙනෙකු විසින්ම පළමු කොට බුද්ධානුස්සතිය ද, ඊළඟට මෛත්‍රී භාවනාව ද, ඊළඟට අශුභ භාවනාව (කායගතාසති) ද, ඊළඟට මරණානුස්මෘතිය ද ටික ටික වේලා ක්‍රමයෙන් වැඩිය යුතුය.

බුද්ධානුස්සතිය යනු බුදුගුණ මෙනෙහි කිරීමයි. බුදුගුණ මෙනෙහි කරන්නහු තුළ බුදු රජාණන් වහන්සේ කෙරෙහි මහත් ආදරයක් භක්තියක් ශ්‍රද්ධාවක් ඇති වෙයි. එයින් සිත නිරෝග වෙයි. බුද්ධ වචනය පිළි පැදීමෙහි ධෛර්යවත් වෙයි. “මා අත්බව භාග්‍යවතුන් වහන්සේ නමට පරිත්‍යාග කොට උන් වහන්සේ වදාරා ඇති පරිදි ම භාවනාව වඩමි” යි උනන්දු වෙයි.

මෛත්‍රිය වැඩීමෙන් තමා අවට වසන දෙවි මිනිස් හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. ඔවුන් විසින් රකිනු ලබයි. ඔවුන් ගෙන් ඔහුට කිසිදු හිරිහැරයක් ඇති නොවෙයි.

අශුභ භාවනාව හෝ කායගතා සතිය වඩන තැනැත්තේ තමාට දක්නට ලැබෙන දිව්‍ය රූපයෙකින් වත් මුළා නොවෙයි. ඇතැම් විට මාර පාක්ෂික දෙවියකුට භාවනානුයෝගියකු දක්නට ලැබුණු විට ඔහු නොමඟ යවන්නට දිව්‍ය ස්ත්‍රීන් පෙන්වීම්, දිව්‍ය ස්ත්‍රී වේශයෙන් පෙනී ඉඳ මිත්‍ර වෙන්නට කථා කිරීම් ආදියෙන් ඔහු පොළඹ වන්නට සිතෙයි. දුර්වල යෝගියා අතරමං කරන ඊර්ෂ්‍යා සහගත මිසදිටු භූතයෝ ඇත. අශුභ භාවනානුයෝගියා ඔවුනට නොරැවටෙයි.

මරණානුස්මෘතිය වඩන යෝගියා තමා නිතරම මරණය අතට ම ළං වෙන කෙනකු බව සැලැකීමෙන් භාවනාවෙහි වඩාත් උනන්දු වෙයි. නොමඟට නො වැටෙයි. කුසීත නොවෙයි.

බුද්ධානුස්මෘති ආදී සතර කමටහන් වැඩීම මෙසේ මහත් අනුසස් ඇති බැවින් ආනාපන සතිය වඩන්නට කලින් ඒ කමටහන් සතර ගුරු උපදෙස් ලබා ටික ටික වේලා වැඩිය යුතුය. එයින් පසු ආනාපාන සතිය වැඩීම පටන්ගත යුතුය.

ආත්මසන්නිර්යාතනය භාවනා වැඩීමට පළමුවෙන් යෝගියා විසින් තමාගේ ආත්ම භාවය බුදුරජාණන් වහන්සේට හෝ කර්මස්ථාන දෙන ආචාර්යවරයාට සිතින් පරිත්‍යාග කළ යුතුය.

සමහර විට භාවනායෙහි යෙදී ඉන්නහුට භයානක අරමුණු පෙනෙන්නට වෙයි. හේ එබඳු අවස්ථායෙහි දී “මම මගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේට පරිත්‍යාග කෙළෙමි” යි හෝ “මගේ ආචාර්යපාදයනට පවරා ඇත්තෙමි” යි හෝ සලකා බිය නොගෙන, ඒ පෙනුණු දෑ ගැන තැකීමක් නොකොට, ඒ අරමුණු නොතකා හැර භාවනාව දිගට ම කැරැගෙන යෑමෙහි සමත් වෙයි.

ආනාපාන සමාධිය

ආනා යනු ආශ්වාස වායුව යි, අපාන යනු ප්‍රශ්වාස වායුවයි. මෙය අරමුණු කොට භාවනා වඩන්නහු විසින් පළමු කොට ශීල විශුද්ධිය ඇති කැරැ ගත යුතුයි. භාවනානුයෝගියා ගිහියෙක් වී නම් පන්සිල්, අට සිල්, දස සිල් යන තමා රිසි ශීලයක් සමාදන්ව ගෙන පිරිසුදු සිල්වතකු විය යුතුයි. පැවිද්දෙක් වී නම් පැවිදි සිල්හි මැනැවින් පිහිටා පිරිසුදු වියැ යුතුය.

සතිපට්ඨාන සූත්‍ර දෙක්හිත් (මැදුම් සඟියේ), ආනාපාන සති සුත්‍රයේත්, ආනාපාන සතිය සඳහන් කරන අන් තන්හිත් භාවනාරම්භය දක්වන භාග්‍යවතුන් වහන්සේ “සො සතො’ ච අස්සසති සතො’ ච පස්සසති” යි වදාළ සේක. එහි අදහස “හේ සිහි ඇත්තේම හුස්ම (ඇද) ගනී. සිහි ඇත්තේ ම හුස්ම පිට කෙරෙයි” යනු යි.

මේ පළමු අවස්ථාවෙහි ඇතුල් වන හුස්මත් පිට වන හුස්මත් වැදෙන තැන විමසා දැන එහි සිත පිහිටු වන්නට පුරුදු විය යුතුයි. නාසය දික් අය ගේ ඇතුල් වන හුස්ම පළමුවෙන් ම හැපෙන්නේ නාශාග්‍රහයේය. (නාසයේ අගය) හුස්ම පිට වීමේදී අන්තිමට ම හැපෙන්නේ ද නායිකාවේ අගය.

නාසය හුස්ම කොට අය ගේ හුස්ම ඇතුල්වීමේ දී මුලින්ම හැපෙන්නේත් හුස්ම පිට කිරීමේදී අන්තිමට හැපෙන්නේ උඩු තොලෙහිය. යෝගාවචරයා තමා ගේ හුස්ම ඇතුල්වීමේදීත් පිට වීමේදීත් එය හැපෙන තැන විමසා දැන එය අරමුණු කළ යුතු. හුස්ම ගැනීමට වත් පිට කිරීමට වත් උත්සාහ නොකළ යුතුයි. ස්වභාවයෙන්ම (ඉබේම) සිදුවන හුස්ම ඇතුල්වීමටත් පිටවීමටත් එසේ සිදුවන්නට ඉඩ දී තමා ඇසි පියා ගෙන ඒ හුස්ම ඇතුල් වීමේ දී මුලින් ම හැපෙන තැනත් පිටවන විට අන්තිමට ම හැපෙන තැනත් සිතින් සලකා ගත යුතුය.

එහි සිත පිහිටුවා එළඹැ සිටි සිහියෙන් යුතුව සිතින් එය සැලකිය යුතුය. සිතට නොදැනී කිසිම හුස්මක් ඇතුල් වන්නට හෝ පිටවන්නට නො හැකි වනුවට නිතර ම එළැඹ සිටි සිහියෙන් මනැසින් හුස්ම දෙස බලා ගත් වනම හින්ද යුතුය. අන් කිසිම අතකට සිත නොයවා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවාගෙන ඉන්ද යුතුය. මුල දි ඉඳ හිට අන් අතකට හිත යන්නට පුළුවන. හෙවත් හුස්ම හැපෙන තැන හැර වෙන අරමුණකට ඇදෙන්නට පුළුවන. එසේ වන්නේ එළැඹ සිටි සිහිය නැති වීමෙනි. සිතේ එකඟ බව දුබල හෙයිනි. සිහිය උපදවා ගෙන යළිත් සිත හුස්ම හැපෙන තන්හි ම පිහිටුවිය යුතුය. සමහර කෙනෙකුට පැය බාගයෙක දී ද තව කෙනෙකුට පැයක දී ද තව කෙනෙකුට පැය කීපයකින් ද හුස්ම හැපෙන තන්හි ම කැමති තාක් කල් සිත තරයේ පිහිටුවා තැබීමට හැකියාව ඇති වේ.

පෙර අත්බව්හි සමාධි වඩා පුරුදු කෙනෙකුට විනාඩි හත අටකින් වූව ද සිත හුස්ම වැදෙන තන්හි ස්ථිර ලෙස පිහිටුවා තැබීමේ හැකියාව ඇත. පෙරැ ළඟ අත්බැවෙක භාවනාවක් පුරුදු නොකළ අයට සිත වික්ෂිප්ත නොවන සේ ටික වෙලාවක් එක් අරමුණෙක පිහිටුවා තැබීමට මාස ගණනක් වූව ද ගත විය හැක. හුස්ම හැපෙන තැන සිත පැයක් හමාරක් නො සැලී පිහිටා සිටීම හරි ගිය පසු මේ භාවනාවේ ඊළඟ ක්‍රියාමාර්ගය ඇරැඹිය යුතුය.

ගණනාව

මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීමයි. හුස්ම ගන්නා වාර පමණක් හෝ හුස්ම පිටකරන වාර පමණක් ගණන් කළ යුතුයි. ඒ දෙකම මිශ්‍ර නොකළ යුතුයි. එය කරනුයේ මෙසේයි.

හුස්ම ඇතුල් වන වාර ගණිනු කැමැති නම් ඇතුල්වන හුස්ම නාසය අග හෝ උඩු තොලෙහි හැපුණු විට “එක” යි සිතින් ගිණිය යුතුය. ඊළඟ වාරයේ එතැන හුස්ම හැපෙන තුරු ම “එකයි එකයි එකයි” සිතින් ගණිමින් එතැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතුය. එතැනින් වෙන අතකට සිත නො යන ලෙසට එළැඹි සිටි සිහියෙන් යුක්ත විය යුතුය. ඊළඟට එතැන හුස්ම හැපුණු විට “දෙකයි දෙකයි” (සිතින්) කිය යුතුයි. තුන් වන වර හුස්ම එහි හැපෙන තුරු ම මෙය කළ යුතුය. මෙසේ පස් වන වාරය තෙක් හුස්ම හැපෙන වාර ගණන් කළ යුතුය. මේ පළමු වටයයි.

ඊළඟට නැවතත් “එකයි එකයි” සිතින් කියමින් හවන හුස්ම වාරය තෙක් ගිණිය යුතු යි. මේ දෙවෙනි වටය යි. නැවතත් එකයි කියා ගිණිම පටන් ගෙන හත්වන වාරය තෙක් ගිණිය යුතුයි. මේ තුන් වන වටය යි. යළිත් “එකයි එකයි” යන්නෙන් ගිණිම පටන් ගෙන අට වන වාරය තෙක් ම යෑ යුතුය. මේ සතර වන වටය යි. නැවත එකේ සිට ගිණිම පටන්ගෙන නව වන වාරය තෙක් යෑ යුතු. මේ පස්වන වටය යි. නැවතත් එකෙන් පටන් ගෙන දසවන වාරය තෙක් ගිණිය යුතු මේ හවන වටයයි.

භවන වටය සම්පූර්ණ වූ විට යළිත් මුලට යෑ යුතු යි. පළමු සේම “එකයි” එකයි ගණිමින් වාර පහක් සම්පූර්ණ කළ යුතුයි. ඒ පළමු වටයයි. ඊළඟ වට සයක් ගිණිය යුතුය. මේ නයින් වට සයෙන් සය සපුරමින් හැකිතාක් වේලා හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ගෙන ඉන්ද යුතුය. මේ අන් අතේ යෑ නොදී සිත එක් අරමුණෙක ම පිහිටා සිටීම පුරුදු කරවනා උපායෙකි. මේ ගිණිමේදී ඉඳ හිට සිත අන් අතෙක ගියොත් ඒ තව ම සිතේ සමාධිය හොඳට වැඩී නැති බවට ලකුණෙකි. ගිණීමෙහි යෙදී ඉන්නා තාක් හුස්ම හැපෙන තැන ම නොසැලී සිටී නම් එයින් පසු ගිණීම නතර කොට අනුබන්ධනාව පටන්ගත යුතුයි.

අනුබන්ධනා යනු හුස්ම ගැනීමේදීත් පිට කිරීමේදීත් ගණන් කිරීමක් නැතිව, හුස්ම හැපෙන තැන සිත පිහිටුවා එළැඹ සිටි සිහියෙන් යුක්ත වීමයි. මේ අවස්ථාවෙහි හුස්ම අනුව නාසිකාවෙන් ඇතුළට හෝ නාසිකාවෙන් පිටතට හෝ සිත නො යැවිය යුතුයි. හුස්ම හැපෙන තැන ම සිත පිහිටුවා ඇතුල් වන පිටවන හුස්ම ගැන සෝදිසිමත් විය යුතුය. හුස්ම හැපෙන තැන එය වැදීම ද, ඊළඟ අවස්ථාව ද, එතැනින් පිට වීම දැයි එහි මුල මැද අග පැහැදිලි ව දැනෙන්නට වෙයි. සිතැ එකඟ බවෙත් එළැඹ සිටි සිහියෙන් දියුණුව නිසා ඒ දැනීම ඇති වෙයි. වාර ගිණීමේ සිට හුස්මෙහි ඕලාරික බව අඩු වෙවී ගොස් අන්තිමේදී හුස්ම වැටීම නො දැනෙන තරමට සියුම් වේ. හිත කය දෙකේ ම හෑල්ලු බවෙක් දැනෙන්ට වෙයි. සිරුර ඉහළ නැගෙන්නා සේ හෝ අහසේ පාවෙන්නා සේ දැනෙන්නට වෙයි.

මේ අවස්ථාවේදී නාසිකාග්‍රයෙහි හෝ උඩු තොලෙහි (කලින් හුස්ම හැපුණු තැන) අරමුණු කොට හුස්ම පැහැදිලි ලෙස දක්නට යලිත් උත්සාහ කළ යුතු. මෙසේ සිහියෙන් නුවණින් එතැන සිතින් මෙනෙහි කරනවිට යළිත් හුස්ම වැටීම දැනෙන්නට වේ. මේ අවස්ථාවෙහි ඔහුට උද්ග්‍රහ නිමිත්ත ප්‍රකට වේ. ඉඹුල් පුළුන් පිඩක් හෝ කපු පුළුන් පිඩක් හෝ වායු ධාරාවක් (කලින් හුස්ම හැපුණු තන්හි) හැපෙන්නා සේ දැනෙන්නට වේ.

මෙතැන් සිට සිත බැඳ තැබිය යුත්තේ උද්ග්‍රහ නිමිත්තෙහිය. එය අතුරුදහන් විය නොදී යළි යළි එය සිහි කරමින්, එහි ම සිත රැඳවිය යුතුය. මෙසේ කරනවිට ක්‍රමයෙන් කෙලෙස් සංසිඳෙයි. යටපත් වෙයි. ප්‍රතිභාග නිමිත්ත පහළ වෙයි. පුළුන් පිඩක් හෝ වායුධාරාවක් හැපෙන්නා සේ හැඟුණු තැන තාරකාවක් හෝ තාරකා රැසක් හෝ මුතු ඇටක් හෝ මුතු රැසක් හෝ කපු ඇට රැසක් හෝ පුළුල් වලාකුලක් හෝ මල්දමක් හෝ නෙළුම් මලක් හෝ ඉරුමඩල සඳමඩල වැන්නක්, රියසකක්, දුම් සිළුවක්, ලී කූරක් හෝ ගෙතු දික් නූලක් බඳු දැයෙක් පෙනෙන්ට වේ. මේ ප්‍රතිභාග නිමිත්තය. උඩ කී පරිදි ප්‍රතිභාග නිමිත්ත එක එක් කෙනාට වෙනස් වෙනස් අයුරින් පෙනෙන්නේ ඔවුන්ගේ හැඟීමෙහි වෙනස නිසාය.

උපචාර සමාධිය

ප්‍රතිභාග නිමිත්ත පහළ වූ විට නීවරණයෝ යටපත් වෙත්. උපචාරසමාධිය ඇති වේ. නීවරණයෝ නම්,

  • කාමච්ඡන්දය (කාමාශාව)
  • ව්‍යාපාදය (තරහව)
  • ථීනමිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ මැලි බව)
  • උද්ධච්ච කුක්කුච්චය (සිත නොසංසුන් බව හා කුකුස)
  • විචිකිච්ඡාව (සැකය)

යන පස යි. මෙහි යොගියාට හුස්ම ගන්නා කෙණෙහි ඇති වන සිත එකෙකි. ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටන සිත අනෙකෙකි. හුස්ම පිට කරනවිට ඇති වන සිත අනෙකෙකි. මේ හැම එකෙකදී ම ඒවා අරමුණු කොට ඉතා ඉක්මණින් චිත්ත විථින් ඇතිව නැති ව යන බැවින් එක් සිතෙකින් ම හුස්ම ගැන්මත්, ප්‍රතිභාග නිමිත්තෙහි පිහිටීමත්, හුස්ම පිට කිරීමත් කැරේ යැ යි වරදවා නො ගත යුතුය. මේ තුන් අවස්ථාහි ම සිත එළඹ සිටි සිහියෙන් යුතුව ඒ ගන්නා හුස්ම ආදිය අරමුණු කෙරේ නම් ඔහු ගේ භාවනාව උපචාර අවස්ථාවට ද, අර්පණා (ධයාන) අවස්ථාවට ද වැඩෙයි. ප්‍රතිභාග නිමිත්ත ඇති වූ කල්හි නිතර එළැඹ සිටි සිහියෙන් යුතුව එය නැති වී යෑ නොදී රැකගත යුතු වෙයි.

දුරු කළ යුතු සත

අයෝග්‍ය වූ වාසස්ථාන, අයෝග්‍ය ගොදුරුගම. අයෝග්‍ය කථාසංලාප, අයෝග්‍ය පුද්ගලාශ්‍රය, අයෝග්‍ය භෝජන, අයෝග්‍ය සෘතුගුණය, අයෝග්‍ය ඉරියව්ව යන සතින් වෙන් විය යුතුය.

  • අයෝග්‍ය වාසස්ථානය යනු නම් තැනෙක විසීමේ දී සිත එකඟ නොවේ නම්, භාවනා අරමුණෙහි සිත නොපිහිටා නම්, එබඳු තැනයි. “මේ තැන දී සිත එකඟ නොවේ” යැයි යෝගියාට හැඟුණු විට එහි නො වැස අන් සුදුසු තැනක් සොයා යෑ යුතුයි.
  • අයෝග්‍ය ගොදුරුගම යනු ආහාර පාන සුලභ නැති තැන යි. එය හැර ආහාරපාන පහසුවෙන් ලැබෙන තැනකට යෑ යුතුය.
  • අයෝග්‍ය කථා සංලාප යනු තමා කරන භාවනාවට අදාළ නොවන අන් අන් දැය පිළිබඳ කතා බහ ය. ඒවා ඇසෙන විට භාවනා අරමුණෙන් ඈතට සිත යෑ හැකිය. අන්‍ය විෂයයන් පිළිබඳ පොත පත ද නො කියැවිය යුතුය.
  • අයෝග්‍ය පුද්ගලාශ්‍රය යනු භාවනානුයෝගි නොවූ, භාවනා ක්‍රියාවට අනුබල නොදෙන, නානාවිධ අන්‍ය කටයුතුවල යෙදුණාහුය. ඔවුන් ඇසුරු නොකට යුතුය.
  • අයෝග්‍ය භෝජන යනු තමාට රුචි නොවන, තම සිරුරට ද අහිත වූ ආහාර පාන යි. අහිතකර ආහාර පාන හැර හිතකර ආහාර පාන ලැබෙන සැපයෙන සැටියක් පිළියෙල කැර ගත යුතුය.
  • අයෝග්‍ය සෘතුව යනු තම සිරුරට අහිතකර ශිතෝෂ්ණාදි සෘතු ගුණය යි. ශීතය අධික නම් එ තැනින් ඉවත්විය යුතුය. උෂ්ණය අධික නම් එයින් ද ඉවත්විය යුතුය. තමාට ගැළපෙන සම සෘතු ගුණයක් ඇති පැත්තකට යෑ යුතුය.
  • අයෝග්‍ය ඉරියව්ව යනු  ඉඳුම, සිටුම, සක්මන, සැතැප්ම යුන ඉරියවු සතරය. එහි ද යම් ඉරියව්වක් තමාට සැප නොවේ නම් එය හැර දමා සැප වු ඉරියව්වෙකින් ම භාවනායෙහි යෙදිය යුතුය.

දශ කුශලතා

මේ අයෝග්‍ය දෑ සතින් වෙන් ව, සිතැ එකඟ බව වැඩීමට උපකාරි වූ දෑ දසය සපුරා ගත යුතුය.

  • එයින් පළමු වැන්න වත්ථු විසදතාව යි. සිරුර ද හඳනා පොරෝනා වස්ත්‍ර ද පිරිසිදු කොට ගැන්මයි.
  • දෙවැන්න ඉන්ද්‍රය සමතාව යි. ශ්‍රද්ධා, ස්මෘති, වීර්ය, සමාධි, ප්‍රඥා යනු ඉන්ද්‍රිය පස යි. මේ පසෙන් එකක් අනෙකක් යටපත් කොට නො නැගෙන ලෙසට සමතායෙන් තබා ගන්නට පරිස්සම් විය යුතුය.
  • තුන්වැන්න නිමිත්ත කුශලතාව යි. ලබා ඇති ප්‍රතිභාග නිමිත්ත නැති වී යෑ නොදී රැක ගැන්මේ දක්ෂ බව යි.
  • සතර වැන්න සිත පසු බස්නට නොදී නඟා සිටුවීම යි. කිසි හේතුවෙකින් වීර්යය අඩු වී පසු බසී නම් ධම්මචිචය, විරිය, ප්‍රීති යන තුන් බෝධ්‍යංගයන් වඩා සිත ධෛර්යවත් කිරීමයි.
  • පස් වැන්නා වීර්ය සමතාව ඇති කැර ගැන්ම යි. කිසි විටෙක අධික වීර්යය නිසා සිතේ නොසංසුන් බව නැගෙයි. එවිට පස්සද්ධි, උපේක්ඛා, සමාධි යන බොජ්ඣංග වඩා වීර්යයේ සමතාව ඇති කැරැගත යුතුය.
  • සවැන්න අරතිය මැඩලීමයි. කිසිවිටෙක යෝගියාගේ සිත භාවනායෙහි නො ඇලිය හැකි යි. එවිට ජාති ජරා චූති ආදි සංවේගයට කරුණු වන දෑ මෙනෙහි කොට, තෙරුවන් ගුණ සිහි කොට, සිතේ ප්‍රසන්නතාව ඇති කැරැගත යුතුය.
  • සත්වැන්න සිත ශමථ භාවනායෙහි සම ව දිගට ම යෙදී පවතිනුවට එය දෙස උපේක්ෂක ව බලා ඉඳීම යි.
  • අටවැන්න සමාධි භාවනායෙහි නොයෙදුණවුන් ගෙන් වෙන් වීමයි.
  • නව වැන්න සමාධි ලාභීන් විටින් විට ඇසුරු කිරීම යි.
  • දස වැන්න සමාධි භාවනාව ගරු කොට, එයට ම නැමි, අන් අතෙක නොගොස්, සමාධියට ම මුහුණලා පැවැත්ම යි.

මෙකී කරුණු දසය සම්පූර්ණ කොට ගෙන ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එකඟ බව වැඩිය යුතු යි. ඒත් ප්‍රථම ධ්‍යානය නො ලැබේ නම් නො පසු බැස එයට හේතුව විමසා බලා ආචාර්යෝපදේශයේ පිහිටා වීර්ය, සමථාදිය සපිරිය යුතුයි. එවිට සිත අර්පණා අවස්ථාවට වැඩෙයි. අර්පණා ධයානය ලැබෙන තුරු ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා එය ඒ අරමුණෙහි තහවුරු වනතුරු ම දිවා රෑ දෙක්හි උත්සාහවත් ව භාවනායෙහි යෙදිය යුතුය. එයින් සිතැ අර්පණා ප්‍රාප්ත වේ. ප්‍රථමධ්‍යානය ඇති වේ. සතරවන රූපධ්‍යානය තෙක් ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තැබීම ඨපනා නමි.

ධ්‍යානාංග පස

ප්‍රථම ධ්‍යාන සිත විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන ධයානාංග පසින් යුක්ත ය. එහි විතර්ක යනු සිත ප්‍රතිභාග නිමිත්තට ඔසොවා එහි නංවා පිහිටුවන සිතේ ම ඇති වන ගතියෙකි. විචාර යනු ඒ ප්‍රතිභාග නිමිත්ත පුරා ම වැදගෙන, එය පිරිමදින්නාක් මෙන් එහි ම බැඳී යෙදෙන චිත්ත ගතිය යි. ප්‍රතිභාග නිමිත්ත නිසා සිතැ හටගත් පිනාගිය ගතිය ප්‍රීතිය යි. එසේ ම ප්‍රතිභාග නිමිත්තෙහි සිත තදින් වැදගෙන පිහිටීම නිසා දැනෙන සුවය සුඛ නම් ධ්‍යානාංගය යි. ප්‍රතිභාග නිමිත්තෙන් ඉවත් නොවී එහි ම සිතලැගි පැවැත්ම ඒකාග්‍රතාවයි. එකඟ බව යි.

නීවරණ ප්‍රභාණය

මේ ධයානාංග පස නිසා සිතේ නැගීමට හරස් වන කෙලෙස් පසෙක් යටපත් වේ. මතු විය නොහී අනුශය අවස්ථාවට වැටී හෙයි.

ඒකාග්‍රතාව නිසා සිත ප්‍රතිභාග නිමිත්තෙහි ම බැඳී සිටුනා බැවින්, අන් අතෙක නො යන බැවින්, කාමච්ඡන්ද (කාමාශාව) මතුවිය නොහී, ගිලී යයි. ඒකාග්‍රතාව නිසා කාමච්ඡන්ද නීවරණය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ. ප්‍රීතිය නිසා ව්‍යාපාදය (තරහව) යටපත් වේ. විතර්කය ප්‍රතිභාග නිමිත්තට සිත නැංවීම කරන නිසා ථීනමිද්ධ නිවරණයට (චිත්ත චෛතසිකයන්ගේ මැලි බවට) මතුවිය නොහැක්ක. මෙය විතර්කයෙන් ථිනමිද්ධ නීවරණය විෂ්කම්භන වශයෙන් ප්‍රහීණ වේ යැයි කියන ලදී. ධ්‍යාන සිතේ ඇති මහත් වූ සුවය නිසා උද්ධච්චය (නොසංසුන් බව) හා කුක්කුච්චය (කුකුස) යන විරුද්ධ ගති යටපත් වේ. මෙය සුඛ අංගයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ යැයි කියන ලදී. විචාරාංගය ප්‍රතිභාග නිමිත්ත පිරිමදින බැවින්, ප්‍රතිභාග නිමිත්ත ගැන හෝ එහි ධ්‍යාන සිත බැඳී ඇද්ද නැද්ද යන බව ගැන හෝ එතෙක් පිළිපන් පිළිවෙත ගැන හෝ එයට මඟපෙන්වූ ශෘස්තෘහු ගැන හෝ එය පවසන දහම ගැන හෝ එය පිළිපන් සංඝයා ගැන හෝ යෝගියාට සැක ඇති නොවේ. විචාරාංගයෙන් විචිකිච්ඡා නිවරණය (සැකය) ප්‍රහීණ වේ යැයි කීයේ මෙය ඇරැබය.

මෙසේ විතර්කයෙන් ථීනමිද්ධය ද විචාරයෙන් විචිකිච්ඡාවද ප්‍රීතියෙන් ව්‍යාපාදය ද සුඛයෙන් උද්ධච්ච කුක්කුච්චය ද ඒකාග්‍රතායෙන් කාමච්ඡන්දය දැ යි ධයානාංග පසින් පංච නීවරණයන්ගේ ප්‍රහාණය සිදුවේ.

ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගියා පස් අයුරෙකින් එය තමාට වලංගු කැරගත යුතුය. ඒ පස් අයුර පංච වශිතා නමින් හැඳින් වේ. ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, චූට්ඨාන, පච්චවෙක්ඛන යනු වශිතා පස යි.

  • ආවර්ජනයට අනුව තමා කැමැති තැනෙක, කැමැති විටෙක, රිසි ධයානාංග වලින් යුත් ධයානයකට සමවැදිය හැකි බව, කැමැති තාක් එහි රැඳී හිඳිත හැකි බව යන මේ හැම ආවජ්ජන වශිතා නමි.
  • වහා සමවතට සම වැදිය හැකි බව සමාපජ්ජනා වශිතා යි.
  • තමාගේ අධිෂ්ඨානය අනුව ක්ෂණයක් හෝ වැඩි වේලාවක් ධයානයෙහි සිටිය හැකි බව අධිෂ්ඨාන වශිතාව යි.
  • කැමති විටෙක සමාපත්තියෙන් නැගී සිටිය හැකි බව චුට්ඨාන වශිතා යි.
  • සමාපත්තියෙන් නැගී සිට, සමවත් ධයානයේ අංගයන්ගේ තතු නුවණින් පිරික්සා බැලීමේ හැකියාව පච්චනෙක්ඛණා වශීතාව යි.

සිය දහස් වර ප්‍රථම ධයානයට සමවදිමින්, ඉන් නැගී සිටිමින්, වශිතා පසින් ධ්‍යානය තමාට වලංගු කැරැ ගත යුතුය. එය හොඳට හුරු පුරුදු වූ විට යෝගියාට ප්‍රථම ධ්‍යානයේ දොස් පෙනෙන්නට වේ. විතර්ක විචාර නම් ගොරෝසු ගති දෙකෙකින් යුත් බව, එය කාමච්ඡන්දාදි නීවරණ වලට කිට්ටු බව, එයට නොසමවැදි ටික වෙලාවක් උන්නොත් සුළු පමාවෙකින් කාමරාගාදී නීවරණයෙන් නැගී සිටිය හැකි බව යනාදී දොස් පෙනෙයි.

විතර්ක විචාර දෙක නැති ව ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් ද්විතීය (දෙවෙනි) ධ්‍යානය ලබාගත හැකි වූවොත් මැනැවැයි හේ සිතයි. එසේ සිතා ප්‍රතිභාග නිමිත්තෙහි සිත වඩාත් තදින් බැඳ තබන්නට උත්සාහ කෙරෙයි. එහි ප්‍රතිඵල වශයෙන් විතර්ක විචාර නැති, ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන අංග තුනින් යුත් දෙවෙනි ධ්‍යාන සිත ඔහුට පහළ වෙයි.

ද්විතීය ධ්‍යානය ද වශිතා පසින් පුරුදු කළ පසු එය ද දළ යැයි ඔහුට වැටහෙයි.එයටත් වඩා සියුම් වූ සුඛ ඒකාග්‍රතා යන අංග දෙකින් පමණක් යුක්ත තෘතිය (තුන් වන) ධ්‍යාන සිත ලබන පිණිස යෝග වඩයි. එය ලත් පසු එය ද පංච වශිතායෙන් පුරුදු කැරැගත් විට දළ බව ඔහුට පෙනෙයි.

උපේක්ෂා ඒකග්‍රතා යන අංග දෙකින් යුත් චතුර්ථ (සතර වැනි) ධ්‍යානය උපදවා ගනු කැමැත්ත ඇති වෙයි. වශීතා පසින් තුන්වන ධයානය ද හුරු පුරුදු කැරැ ගත්තහුට ප්‍රතිභාග නිමිත්තෙහි කලටත් වඩා සිත තදින් බැඳෙයි. උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙකින් යුතු චතුර්ථ ධයාන සිත පහළ වේ. එය ද පංච වශිතායෙන් පුරුදු කළ යෝගියා කැමැති නම්, සෘද්ධි විධ ඥාන, දිවැස, පරසිත් දැනීම, පෙර වුසු අත්බව් දැකීම, දිවකන යන අභිඥා පස ලැබීමට, ඒවා ලබත හැකි ක්‍රියාමාර්ගයට බැස්ස හැකි ය. සිත තවදුරටත් සියුම් කෙරෙමින් සතර අරූප ධ්‍යාන සඳහා ද එයට සුදුසු කමටහන් වැඩිය හැකිය.

එහෙත් මේ රූප සමාපත්ති සතරත් අරූප සමාපත්ති සතරත් යන අටම ලෞකිකය. රූප ධ්‍යාන වල ඵල වශයෙන් රූප බඹලෝවල ඉපිද දීර්ඝ කාලයක් උන්නත් අන්තිමේදී එයින් චූත ව මිනිස් ලොවට එන්නට සිදුවෙයි. සෘද්ධි උපදවා එක් කලෙක අහසින් ගිය යෝගියා පවා එයින් පිරිහී හිඳ ආයු ගෙවුණු පසු මැරී මිනිසකු ව ඉපදිය හැක්ක. බඹලොවින් චූතව මිනිස්ව උපන් කෙනෙක් වූවද පාපමිත්‍ර සේවනයෙන් පව් කොට ගැඩිවිලිකු ව උපදින්නට ද පුළුවන. රූප ධ්‍යාන ලාභියා උපදින රූප භවයට වඩා අරූප ධ්‍යානලාභියා ආයුෂ වැඩිය. එහෙත් අන්තිමේ මරණින් පසු මිනිසකු විය හැක්ක. එහි දී පව් කොට අපාගත ද විය හැක්ක. රූපධ්‍යාන අරූපධ්‍යාන මගින් කෙලෙස් යටපත් කළත් අනුශය අවස්ථාවේ කෙලෙසුන් පවත්නා බැවින් පමාවූ කවර විටෙක වූව ද ඒවා නැගී යෝගියා නො මඟට හෙළිය හැකි වෙයි. කාමාවචර කුසල්වලට වඩා රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල් උසස් වූවත් ලෞකිකය.

මෙසේ ඒ ලෞකික ධ්‍යාන වල මහත් ආදීනව දක්නා යෝගියා කෙලෙසුන් ගෙන් නොමිදුණු, ජාති ජරාදි දුකින් නොමිදුණු ලෝකයෙන් ගොඩ නැගෙන්නට, ලෝකෝත්තර තත්ත්වයට නැඟෙන්නට සිතයි.

අනුශය වශයෙන් පවත්නා කෙලෙසුන් මුලින් ම උදුරා පරම පවිත්‍රත්වයට, මොනම දුකකට වත් නො වැටෙන තත්ත්වයට හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පැමිණිය හැක්කේ ශමථ භාවනාවෙන් නොව විපස්සනා භාවනාව වැඩීමෙනි. මේ බව සලකන යෝගියා විපස්සනා භාවනාව වඩන්නට සැරසෙයි. තමාට පුරුදු ආනාපන භාවනාව විපස්සනා භාවනා පැත්තට යොමු කරයි.

ආනාපාන සති විපස්සනාව

මෙහි මුල දී විස්තර කළ ආනාපාන ශමථයෙහි ගණනා අවස්ථාවේ ද විපස්සනාව වැඩිය හැකිය. අනුබද්ධනා අවස්ථාවේ ද, උපචාර ධ්‍යාන අවස්ථාවේ ද, අර්පණා අවස්ථාවේ ද ඒවා පාදක කොට ගෙන විපස්සනාව වඩත හැකිය.

ගණනා අනුබද්ධනා අවස්ථා

කායෙසු කායඤ්ඤතරාහං භික්ඛවෙ එතං වදාමි යදිදං අස්සාස – පස්සාසා

“මහණෙනි, ඇතුල්වන හුස්ම පිටවන හුස්ම යන මෙය කාය නමින් හැඳින්වෙන දෑ අතුරෙන් එක්තරා කයෙකි” යන ආනාපානසති සූත්‍ර පාඨයෙන් දැක්වෙන පරිදි හුස්ම ද කයෙකි. එය අරමුණු කොට වඩන විපස්සනාව කායානුපස්සනාව යි. හුස්ම යනු නාම ධර්මයෙන් (චිත්ත චෛතසික) නොවේ. රූප රැසෙකි. පස්, දිය, සුළඟ, හිරු රැස්, සඳරැස් යන මේවා රූප සමූහයෝ ය. රූප කලාප (රූප මිටි) සමූහයෝ යි. මේ හැම රූප කලාපයෙක් ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජස් යන අටින් යුක්තය. ශබ්දය ද රූපයෙකි. එය පඨවි, අපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගණ්ධ, රස, ඕජස්, ශබ්ද යන නවයෙන් යුක්තය.

පඨවි යනු තද ගතිය ය. ආපෝ යනු බැඳ ගන්නා, කැටි කරන ගතියය. තේජෝ යනු ශීත ගුණයත්, උෂ්ණ ගුණයත්ය. [වායෝ යනු පිම්බෙන, හැකිලෙන, චලනය වන ගුණය ය.] වර්ණ යනු හැම දැයෙක ඇති පැහැය ය. ගන්ධ යනු ගඳය. රස යනු රහ ය. ඕජස් යනු ඕජෝ ගුණය ය. මේ අට ම හැම රූප කැබෙල්ලක ම වෙන් කළ නොහැකි සේ එකට බැඳී පවතී.

පරමාණුව මේ අට එකට බැඳී ඇති ඉතා කුඩා රූප මිටි රාශියෙකි. හිරුරැස් සඳරැස් අව්ව යනු ද මේ අට එකට බැඳී පවත්නා රූප මිටි ගොඩවල්ය. රශ්මියක් ඇඟට වැදෙන විට ම දැනෙයි. අව්ව ඇඟට දැනෙයි. එය ඇඟේ හැපීමෙනි. හැපෙන්නේ තද ගතියයි. පසෙහි තද ගතිය ප්‍රධානය. වතුරු යනු ද රූප කලාප රැසෙකි. එහි ආපෝ ධාතුව ප්‍රමුඛයි. ගින්නෙහි ධාතු සතර ම ඇතත් තේජෝ ධාතුව ප්‍රමුඛයි. සුළඟෙහි වායු ධාතුව ප්‍රමුඛයි. හුස්ම යනු ඉතා සියුම් වු රූප කලාප (රූප මිටි) රාශීන්ගේ පරම්පරාවකි. එහි විසිරිය නොදී සියලු රූප එකට බැඳ පවත්වනුයේ ආපෝ ධාතුවෙනි. එහි කිසිවිටෙක ශීතය ද, කිසිවිටෙක උණුසුම ද, ඇති වනුයේ තේජෝ ධාතුව නිසා ය. හුස්මෙහි චලනය සිදුවනුයේ එහි ඇති වායු ධාතුවෙනි. ඇතුළට ඇදෙන ද පිටවන ද හුස්මෙහි ප්‍රධානයා වායු ධාතුවයි. මෙසේ හුස්ම යනු පෘථිවි ආදි සතර ධාතුන් ගේ මිටි රැසෙකි. සිරුර පුරාම ඇති නානාවිධ සියලුම වාතයෝ සතර ධාතුන්ගෙන් සැදුණු රූපකලාප සමූහයෝය.

හුස්ම නම් කිමෙක් දැයි පරීක්ෂා කොට විමැසීමේ දී ඒ පඨවි, ආපෝ, තේජෝ, වායු යන එකට බැඳුණු සතර ධාතුන් ගෙන් යුත් රූප කලාප සමූහයෙක් යැයි විමැසුම් නුවණට හොඳට වැටහෙයි නම්, පෙනෙයි නම්, ඒ යථාත්ත්වය දැකීම, දැනීම නම් වේ. හුස්ම නම් වූ විශේෂ දැයෙක් ඇතැයි කියා හෝ හුස්ම ගන්නෙක් පිට කරන්නෙක් ඇතැයි කියා හෝ සිතයි නම් පිළිගනී නම්, ඒ දැක්ම ඒ පිළිගැන්ම සත්කාය දෘෂ්ටිය යි. එක් ම හුස්මක් නාසයෙන් ඇතුල් ව කයට පිවිස නැවත පිටවේ යැයි පෘථග්ජන ලෝකයා සිතයි. ඇති සැටිය විමැසීමේ දී එය වැරැදි බව දැනෙයි.

හුස්ම යනු තනි එක් දැයෙකැයි පිළිගැනීම සත්කාය දෘෂ්ටිය යි. හුස්ම යනු ධාතු රූප මිටි පරම්පරාවෙකි. එහි හැම ධාතු රූප මිටියෙක් ම ක්ෂණයක් සිට නිරුද්ධ වෙයි. එයින් ලැබුණ රුකුල ද ඇති ව ඊළඟට ඒ වර්ගයේ ම අන් රූප මිටි රැසෙක් ඇති වෙයි. එය ද ක්ෂණයෙන් බිඳෙයි. එයට අනතුරුව තව රූප මිටි රැසෙක් ඇති වෙයි. මෙසේ ක්ෂණයක් පාසා හැදෙමින් බිඳෙමින් දිගින් දිගට යන රූප මිටි සමූහයන්ගේ පරම්පරා මිස හුස්ම නමින් ගත යුතු තනි එක් දැයෙක් මෙහි නැත. පිටවනුයේ ඇතුල් වුන හුස්ම නොවේ. එහි පරම්පරාවේ පිටවන ක්ෂණයේ ඇති වූ හුස්ම රූප මිටි රැසෙකි. ඒ සියල්ල ක්ෂණ භංගුරය. ක්ෂණයෙන් බිඳෙන්නේය.

“මම හුස්ම ගනිමි, හුස්ම පිට කරමි” යනු ඒකාන්ත සත්‍යය නොවේ. ලෝක සම්මතිය අනුව, ලොකව්‍යවහාරය අනුව කරන කථාවෙකි. රූප මිටි පරම්පරාවෙකි. ක්ෂණයක් පාසා හැදෙමින් දිගටම ඇති වන රූප කලාප පරම්පරාවෙකි. රූප සන්තතියෙකි යනුම ඇත්තය.

හුස්ම “මම” යැයි ගැන්ම හුස්ම ආත්ම කොට ගැනීමය. “මම හුස්ම ගනිමි. හුස්ම මගේ” යැයි සිතුවොත් හුස්ම ආත්මීය වශයෙන් වරදවා ගැනීමයි. ක්ෂණයක් පාසා නැගෙන බිඳෙන, “හුස්ම” යන නමින් වැහැරැවෙන හැම රූප මිටියක් ම ක්ෂණයෙන් බිඳෙයි. ක්ෂණභංගුරයි. අනිත්‍ය යි. මෙසේ සැලකීම ගණනා අවස්ථාවෙහි හුස්ම අරමුණු කොට අනිත්‍ය සංඥාව වැඩීම යි.

හුස්ම නැමැති රූප මිටි පරම්පරාව කිමෙක, කුමක් ආධාර කොට ගෙන එසේ පවතී දැයි බැලිය යුතුය. එය රූප ශරීරය ආධාර කොට ගෙන පවතී යැයි පෙනෙයි. රූප ශරීරය කවර නම් දැයින් යුක්ත දැයි රූප ශරීරය කොටස් කොට විමැසිය යුතුය. රූප ශරීරය යනු කෙස් ලොම් නිය දත් ආදී කුණු කොටස් තිස් දෙකෙක එකතුව මිස අනෙකෙක් නොවේ. කෙස් නම් කවරේ ද? එය ද පඨවි ආදී සතර මහා භූතයන් ම වු රූප කලාප මහ රැසෙකි. එහි ද ක්ෂණයක් පාසා හැම රූප මිටියෙක් ම බිඳෙයි. ලොම් ද මහා භූතමය වු රූප කලාප රැසෙකි. ඒ හැම රූප කලාපයෙන් ක්ෂණයෙන් බිඳේ. එය අනුව තව එකෙක් ඇති වේ. මේ සියල්ල කර්ම, චිත්ත, සෘතු, ආහාර යන සතර හේතුන් ගෙන් ඇති වන දෑය. මෙසේ කේසාදි වු කුණප කොටස් දෙතිසක් ම වු ශරීරය ක්ෂණයක් පාසා හැදෙමින් බැඳෙමින් ගලන ගඟක් මෙන් දිගින් දිගට පවත්නා රූප පරම්පරා රැසෙකි. අනුබන්ධනා අවස්ථායෙහි ද ඇතුල් වන පිටවන හුස්ම ද ඉහත ගණනා අවස්ථාවෙහි කී පරිදි ම හැදි හැදි බිඳි බිඳි දිගින් දිගට යන රූප කලාප පරම්පරාවෙකියි දැක්කැ යුතුය.

ආශ්වාස ප්‍රශ්වාසයෙහි දී නාසය අගැ හෝ, උඩු තොලෙහි හුස්ම හැපීමේදී ඇති වන විඳීම (වේදනාව) නුවණින් බැලිය යුතුය. ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකට ආධාර වූ කේශලෝමාදිමය වූ ඉතිරි මුළු ශරීරයේ ද කිසි තැනෙක කිසිවක් හැපීමේ දී ඇතිවන වේදනාව ද ඒ හැපීම නිසා ඇති වන ප්‍රනිත්‍ය සමූත්පන්න ධර්මයෙකි. එය ද හැම විට ම එකෙක් ම නොවේ. ඒ ඒ ක්ෂණයෙහි ඇති වේවී නැති වෙයි. කිසිවිටක සුඛ වේදනාව ද, කිසි විටෙක දුක් වේදනාව ද, කිසිවිටෙක උපේක්ෂා වේදනාව ද ඇති වේ. මෙසේ ගණනා අනුබද්ධනා අවස්ථා දෙක්හි ඇති වන වේදනාව නුවණින් බැලීම වේදනානුපස්සනාව ය.

ඊළඟට ගණනා අනුබද්ධනා දෙකේහි ම “මම හුස්ම ගනිමි” යි හෝ “මම දික් හුස්මක් ගනිමි” යි නැතහොත් “කොට හුස්මක් ගනිමි” යි ආදීන් සිත් ඇති වේ. ඒ ඒ අවස්ථායෙහි චිත්ත විථියක් ඇති වේ. එක් රූප ක්ෂණයක් ඇතුළත චිත්තක්ෂණ 17 ඇතිව නැති වෙයි. ඒ සිත් සරාග ද විතරාග ද යනාදීත් සැලැකීම චිත්තානුපස්සනායි.

මේ උඩකී හැම අවස්ථාවහි ම ඇතිව නැති වන රූප ක්ෂණයෙන් බිඳී යන බැවින් අනිත්‍ය යැයි ද, වේදනා සියල්ල ද ක්ෂණභංගුර බැවින් අනිත්‍ය යැයි ද, ඒ අවස්ථාහි ඇති වන සියලු සිත් ද ක්ෂණයෙන් බිඳෙන බැවින් අනිත්‍ය යැයි ද, එහෙයින් ම දුක් යැයි, අනාත්ම යැයි ද, ඒවා අනිත්‍යාදි වශයෙන් බැලීම ධම්මානුපස්සනායි.

ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා තබන උපචාර, අර්පණා (ප්‍රථාමාදිධ්‍යාන) අවස්ථාවල දී ඒ සමාධියෙන් නැගී සිට සමවන් අවස්ථාව පිරීක්ෂා බලමින් විපස්සනාව වැඩිය හැකියි. සමාධියෙන් නැගී සිට ධ්‍යානංගයන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කළ යුතුය. ඒ මගින් වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා තුනම වැඩිය හැකිය. මෙහිදී බොධ්‍යංගයන් වැඩෙන හැටි සැකෙවින් දැක්වේ. ආනාපාන සතිය පටන්ගත් තැන් සිට ම සතිය (එළඹැ වූ සිහිය) හැම මොහොතෙහි ම වඩ වඩා බලවත් වේ. ඒ සති සම්බොජ්ක්‍ධංගය වැඩීමයි. එසේ ම ආශ්වාසාදීන් නුවණින් පිරික්ෂා බැලීම ද ක්‍රමයෙන් වැඩේ. මේ ධම්මවිචය සම්බොජ්ඣංගය යි. මුල සිටම යෝගියා ගේ භාවනාවෙහි උත්සාහය වැඩේ. ඒ විරිය සම්බොජ්ඣංගය වැඩීමයි. ධ්‍යාන අවස්ථාවට භාවනාව දියුණු වූ පසු උපචාර ධ්‍යාන, ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන දෙක්හි දී ප්‍රීතිය බලවත් ව ඇති වේ. ඒ ප්‍රීති සම්බොජ්ඣංගය වැඩීමයි. ධ්‍යානාංග පූර්ණ ව ඇති වීමෙන් සිතේ සංසුන් බව ඇති වේ. මේ පස්සද්ධී සම්බොජ්ඣංගය යි. පස්සද්ධිය නිසා සමාධිය වැඩේ. මේ සමාධි සම්බොජ්ඣංගය යයි.

හුස්ම ගැනීමේදීත් පිට කිරීමේදීත් චිත්ත චෛතසිකයෝ ඒ ඒ ක්‍ෂණයෙහි හුස්ම අරමුණු කෙරෙමින් නැගි නැගි බිඳීයෙත්. එහි ‘මම’ හුස්ම ගනිමි යි පිට කරමි යි සිතීමක් මිස ‘මම’ යැයි වෙන් කොට ගත යුතු නොනැසී, රැඳී සිටිනා කිසි දැයෙක් නැත. එය විමසනුයෙහි දී ඇති වන සතිය විරිය ඤාණ යන ධර්මයෝ ද ක්‍ෂණික ව ඇති ව නැති ව යන චෛතසිකයෝ ය.මෙය මෙසේ දැකීම දිට්ඨි විසුද්ධිය ය. මේ චිත්ත චෛතසික රූප කෙසේ ඇති වේදැ? යි විමසීමේ දී පටිච්චසමුප්පාද ධර්ම ක්‍රමය සිතට පැහැදිලි වේ. එයින් ශාශ්වත, උචේඡද දෘෂ්ටි ද, සජීවාජීව සියල්ල දෙවියකුගේ හෝ බඹකුගේ නිර්මාණයෙකැයි යන දෘෂ්ටිය ද, සියල්ල පෙර අත්බව්හි කළ දෑවල ම විපාකයැ යි යන පුබ්බෙකත හේතුවාද දෘෂ්ටිය ද, සියල්ල අදිච්ඡ සමුප්පන්නව (යදෘච්ඡා සමුත්පන්නව) හේතුවක් ප්‍රත්‍යයක් නැති ව ඉබේ හටගනිතැයි යන දෘෂ්ටිය ද, යන මිත්‍යා දෘෂ්ටි තුන දුරු වේ. අතීත තුන් කල්හි පැවැත්ම පිළිබඳ සැකය දුරු වේ. හෙවත් කංඛා විතරණ විශුද්ධිය ඇති වේ.

මෙයට පසු සංස්කාරයන් හෙවත් නාම රූප ධර්මයන් නානා සැටියෙන් පිරික්සා බලන යෝගියාට ඔහු ගේ භාවනාමය පිරිසුදු සිතින්, කය පුරා හට ගෙන පැතිරෙන චිත්තජ රූපකලාපයන් නිසා සිරුරෙන් එළිය විහිදෙන්නා පෙනෙන්නට වෙයි. සිතෙහි බලවත් ප්‍රීතිය නැඟෙයි. සිත කය දෙකේ මහත් සංසිඳුණු බවෙක් දැනෙයි. බලවත් ශ්‍රද්ධාව ඇති වෙයි. බලවත් විර්යයක් ඇති වෙයි. මහත් සුව පහසුවෙක් දැනෙයි. නුවණ තියුණු වෙයි. ස්මෘති ශක්තිය ද ප්‍රබල වෙයි. තත්‍රමධ්‍යස්ථතා උපේක්ෂා ගුණය බලවත් ව නැගෙයි. ලබා ඇති දෑ කෙරෙහි බලවත් ව ඇලෙයි. සමහර යෝගියෙක් මගේ විපස්සනා වැඩීම සමෘද්ධ වී යැයි මම් රහත් බව ලදිමි’ යි එයින් රැවැටෙයි. ‘කළ යුතු දෑ කොට නිම කෙළෙමි’ යි විපස්සනා වැඩීම නවත්තයි. එයින් රහත් වූයෙකිමි යි අධිමානයෙන් යුක්තව පෘඨග්ජනාවස්ථායෙහි ම රැඳී හිදී. එහෙත් ආචාර්ය ආශ්‍රය ලබමින් භාවනා කරන යෝගියා මේ ඇති ආලෝකාදි දශය උපක්ලේශයෝයි තේරුම් ගෙන, ඒවා කෙරෙහි ඇල්ම හැර දමා, යළිත් පළමු සේ ම නාම රූපයන් විවිධාකාරයෙන් බලමින්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳ දැනීම වඩයි. ආලෝක ප්‍රීති ආදි දශ උපක්ලේශයන් හැඳින ගෙන මේ නො මඟ යැයි දැන නාම රූපයන් නානා නයින් තිලකුණට නගා විදර්ශනා ඥානය වැඩීමට බට අවස්ථාව මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධි අවස්ථාවයි.

නාම රූපයන් තිලකුණට නඟා විදසුන් වඩන යෝගියාට නාම රූපයන් ක්‍ෂණයක් පාසා ඉපැදීමත් නැසී යෑමත් ඉතා ප්‍රකටව දැනෙන්නට පෙනෙන්නට වෙයි. මේ උදයව්‍යය ඥානය පහළ වීමයි.

නාම රූපයන් ගේ හටගැන්මත් නැසීමත් නැවැත නැවැත විමැසුම් නුවණින් බලන යෝගියාට ඒ සියලු සංස්කාරයන්ගේ ක්‍ෂණික භංගය, ක්‍ෂණික මරණය ඉතා බලවත් ව දැනෙන්නට පෙනෙන්නට වෙයි. මේ භංගඥානය පහළ වීමයි.

භංගඥානය අනුව සංස්කාරයන් ගේ සැටි බලන යෝගියාට සියලු සංස්කාරයන්, සියලු නාම රූපයන් මරණය නම් දැයෙකින් ඇති වූවන් සෙයින් නාම රූපයන්ගේ ක්‍ෂණභංගුරත්වය ඉතා ප්‍රකට ව වැටහෙන්නට වීමෙන් ‘තමාය ආත්මභාවය’ යන නම් වලින් වැහැරැවෙන මේ නාම රූප වැල මහත් භයක්වැ, උවදුරක් වැ, පෙනෙන්නට වෙයි. ලැවු ගින්නකට හසු වූවකුට සෙයින් මහත් බියෙක් ඇති වෙයි. මේ භය (භයතුපට්ඨාන) ඥානය යි.

නාම රූප පරම්පරාව බියක් ලෙස දක්නා යෝගියාට එහි ඇති වන ජාති ජරාදි ආදීනව (දෝෂ) නානා නයින් ප්‍රකට වේ. හෙවත් ආදීනව ඥානය පහළ වේ.

නාම රූපයන් ගේ ආදීනව (දෝෂ) යළි යළි විමසා බලන ඔහුට නාම රූපයන් කෙරේ බලවත් කලකිරීම ඇති වේ. හෙවත් නිබ්බිදා ඤාණය පහළ වේ.

මෙසේ සංස්කාරයන් කෙරෙහි කලකිරුණු යෝගියාට ‘මෙයින් මිදී ගනිමි’යි ‘අසංඛත ධාතුවෙහි පිහිටමි’ යි යන දැනීම ඇති වේ. හෙවත් මුංචිතුකම්‍යතා ඤාණය පහළ වේ.

මිදීමට කැමැත්තා ඒ සංස්කාරයන් ගේ තත්ත්වය තව තවත් කලින් බැලුවාටත් වඩා විවිධ ආකාරවලින් පිරික්සන්නට වෙයි. එයින් කලටත් වඩා ත්‍රිලක්ෂණ ප්‍රකට ව දකී. හෙවත් ඔහු තුළ පටිසංඛානුපස්සනා ඤාණය පහළ වේ.

මීළඟට මෙතෙක් දුරට වැඩූ විපස්සනාවේ මුදුන් පත් අවස්ථාව ඇති වේ. මධ්‍යස්ථ වශයෙන් සංස්කාරයන් දක්නා යෝගියා විපස්සනාවේ කෙළවරට පත් වේ. පෘථග්ජන අවස්ථාවෙන් ගොඩනැගී ලෝකෝත්තර තත්ත්වයට ළං වන අවස්ථාවට පැමිණේ. ගොඩ සිට නැවකට නගින්නා ගොඩ එක් පයක් ද අනිත් පය නැවේ ද තබයි. එමෙන් ම මෙතෙක් දුරට වැඩූ විදර්ශනා ඥානයට අනුකූල වූ ඉදිරියේ ලබන මාර්ග ඥානයටත් අනුකූල වූ නුවණෙක් පහළ වෙයි. එය අනුලෝම ඥාන, සංඛාරුපෙක්ඛා විපස්සනා, සිඛාප්පත්ත විපස්සනා, උට්ඨානගාමිනි විපස්සනා යන නම් වලින් ද හැඳින්වෙයි.

උදයව්‍යය ඥානය පටන් කොට අනුලෝම ඥානය අවසන් කොට ඇති වන මේ නව මහා විදර්ශනා ඥානයෝ පටිපදා ඤාණ විසුද්ධි නමින් හැඳීන්වෙත්.

අනුලෝම ඥානයට අනන්තරව (එය ළඟට ම අතරක් නැතිව), ලෞකික ගෝත්‍රය (අවස්ථාව) ඉක්මැ ලෝකෝත්තර අවස්ථාවට සිත් පරම්පරාවේ නැගීම සිදු කිරීම් වශයෙන් ඒ තාක් ම අරමුණු කළ සංස්කාරයන් අත්හැර එකෙණෙහි ප්‍රකට වූ නිර්වාණ අරමුණෙහි එල්බෙමින් ගෝත්‍රභු ඥානය පහළ වේ.

ඊළඟට ම ඒ නිවන් අරමුණේ ම එල්බ සෝතාපත්ති මග්ගඤාණ සිත ඇතිවේ. සංස්කාරයන්ගේ දුක්ඛ ස්වභාවය තතු සේ දැකීම, සමුදය ප්‍රහාණය හෙවත් අවිද්‍යා තෘෂ්ණා දෙකේ අවයව වූ සක්කාය දිට්ඨි, සීලබ්බත පරමාස, විචිකිච්ඡා යන කෙලෙසුන් මුල් සුන් කිරීම හා ඉතිරි කෙලෙසුන් දුබල කිරීම, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කිරීම හෙවත් නිවන දැකීම, මාර්ගය වැඩීම (සම්මා දිට්ඨි ආදී මාර්ගාංග අට මුහුකුරා එක ම සිතේ පහළවීම) යන සතර කෘත්‍යය මේ පලමු වන මාර්ග (ලෝකෝත්තර) කුසල් සිතින් සිදු කැරෙයි.සක්කාය දිට්ඨි ආදී කෙලෙසුන් මුලින් ම නැසී යන්නා හා ම කාමච්ඡන්දාදී සෙසු නීවරණ මෙහි දී විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ වේ. එබැවින් වෙන ම ධ්‍යාන වැඩුවත් නොවැඩුවත් මේ සෝතාපත්ති මග්ග චිත්ත යැයි කියනු ලැබේ.මාර්ග සිත ක්‍ෂණයෙන් නිරුද්ධ ව එයට අනතුරුව එයට සමාන අංගවලින් ම යුත් සොතාපත්ති ඵල සිත දෙවරක් හෝ තුන් වරක් පහළ ව නිරුද්ධ වේ. එයින් කැරෙනුයේ මාර්ග සිත විසින් නසා දමන ලද සක්කාය දිට්ඨි විවිකිච්ඡා සීලබ්බත පරාමාස යන කෙලෙසුන් නිසා සසර දී දිගට ම ඇති වෙවී ආ කෙලෙස් විඩාව සංසිදී යෑම යි. මේ සෝවාන් වීමට දහම් ඇස (ධම්මචක්ඛු) පහළ වීම, නිවන් දැකීම යැයි බැවහර වේ.

තව ඉදිරියට යනු කැමැති යෝගියා යළිත් පළමු සේ ම නාමරූප විදර්ශනාව වඩයි. එය මුහු කළ විට පළමු සේ ම නව මහා විදර්ශනා ඥානයන් පළමු වාරයට වඩා බලවත් ව වැඩී ගොස් ඉතිරි කෙලෙස්වල ශක්තිය හීන කරමින් දෙවෙනි මාර්ග සිත හෙවත් සකදෘගාමී මාර්ග සිතත් ඊළඟට ම ඵල සිතත් දෙවරක් හෝ තුන්වරක් පහළ වේ. මේ දෙවෙනි මාර්ග සිතට සකදාගාමී (සකෘදාගාමි) මග්ග චිත්තය යි ද ඵල සිතට සකදාගාමී ඵල චිත්තයැ යි ද කියනු ලැබේ.සකදාගාමී (සකෘදාගාමි) යන්නෙහි අර්ථය තව එක් වරක් එන තැනැත්තා හෙවත් කාමභවයෙහි එක්වරක් පමණක් උපදින තැනැත්තා යනු යි. ඔහු තුළ කාමභවය කෙරෙහි තුනී වූ ඇල්ම ඉතිරි බැවින් මෙය සිදු වේ.

යෝගියා තවදුරටත් පළමු සේ ම නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඒවා මුහුකුරා යෑමෙන් අනාගාමී වේ. අනාගාමි මාර්ග සිතත් එය ළඟට ම පිළිවෙළින් එහි ඵල සිත් දෙකෙක් හෝ තුනෙක් පහළ වේ. අනාගාමි මාර්ග සිත පහළ වීමෙන් කාමරාග ව්‍යාපාද, දෙක වැනසෙයි. එහි ඵළ සිතින් එකී කෙලෙස් නිසා එතෙක් පැවැති විඩාව දුරු ව සිතට මහත් පහසුව ලැබේ. අනාගාමී යන්නෙහි අර්ථය ආයෙත් මෙහාට (මේ කාමභාවයටත් පහත් රූප ලෝකවලටත්) උත්පත්ති වශයෙන් නො එන තැනැත්තා යනුයි. විපස්සනා වැඩීම එතෙකින් නවතා සිටියොත් හේ මරණින් මතු ශුද්ධාවාස බඹලොවෙක උපදී එහි දී විදසුන් වඩා රහත් වෙයි.

ඉදින් හේ මතු භවයට කල් නො දමා පළමු සේ ම යළිත් නව මහා විදර්ශනා ඥානයන් වැඩුවොත් ඉතිරි කෙලෙස් හෙවත් රූපරාග, අරූපරාග, මාන, උඞච්ච, අවිජ්ජා යන සංයෝජන පස ම මුලිනුදුරා දමා රහත් වෙයි. රහත් මග සිත පහළ ව කෙලෙස් මුලිනුදුරා ලීමට අනතුරු ව ඒ උදුරා ලූ සියලු කෙලෙසුන් නිසා එතෙක් පැවැති කෙලෙස් විඩාව දුරු කොට, මහත් ම පහසු ව උදා කෙරෙමින් රහත් ඵල දෙකක් හො තුනක් පහළ ව නිරුද්ධ වේ. මේ පරම පවිත්‍රතාවට පත් අග්‍රම ඵලය ලැබූ පුද්ගලයා රහතුන් වහන්සේ නමින් හැඳින්වේ. උන් වහන්සේ ලබා ඇති ස්කන්ධ පසින් යුක්ත ව ඉන්නා තාක් විටින් විට නිවන සිතින් අරමුණු කොට, එහි සිත පිහිටුවා ගෙන, එයින් ලැබෙන ශාන්ත සුවය විඳින සේක. මෙය විමුක්ති සැප විදීම නමින් හැඳින්වේ. ස්කන්ධ පරිනිර්වාණයට පෙර උන් වහන්සේ අරමුණු කරන සිත පිහිටුවා තබන ඒ නිර්වාණ ධාතුව උපාදීශෙ නිර්වාණ නමින් හැඳින්වේ. මේ සතර මාර්ග ඥාන ලැබීමෙන් වන පිරිසිදු බව ඥාන දර්ශන විශුද්ධි නම් වේ.

විශේෂයෙන් ධ්‍යානයක් නො වඩා විදර්ශනාව වඩා සෝවාන් වූ තැනැත්තාට සෝවාන් වීමේ දී ම ස්වභාවයෙන් ප්‍රථම ධ්‍යානය ඇති වේ යැයි යට කියන ලදී. ඒ තැනැත්තා සකෘදාගාමී, අනාගාමි, අරහත් යන තුන් අවස්ථාවට පත් වීමේදීත් ඒ සියලු මාර්ගඵල සිත් ප්‍රථම ධ්‍යාන සහගත වේ යැයි දත යුතුය. සේවාන් වූ පසු සමහරු ඉතිරි ධ්‍යාන වඩත්. ඒ අයගේ මාර්ග සිත්, ඵල සිත් ඒ ලබා ගත් ධ්‍යානයෙන් යුක්ත වේ.

ශීලයෙහි පිහිටා ආනාපාන සතිය වැඩූ තැනැත්තා මෙහි කී පරිදි ආනාපන ශමථය වඩා, ලෞකික ධ්‍යාන ලබා, විශ්කම්බන ප්‍රහාණයෙන් චිත්ත ශමථය ද විදර්ශනාව වඩා, මාර්ගඵල ලැබීමෙන් කෙලෙසුනුත් කෙලෙස් විඩාවත් සහමුලින් නසා පරම විශුද්ධියට, පරම ශක්තිය ලැබීමට, නිවන් සුව අත්පත් කිරීමට සමත් වෙයි.

නිමි

පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි

 

References:

[1] http://budusarana.weebly.com/346235053535350835353505-1.html