රතන සූත්‍රය

 

1. යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුනන්තු භාසිතං

පොළොවෙහි වෙසෙන්නා වූ හෝ අහසෙහි වෙසෙන්නා වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් සිටී ද, ඒ සියලු අමනුෂ්‍යයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. තවද මාගේ වචනය මනාකොට (සකසා) අසත්වා.

 

2. තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා

එහෙයින් අමනුෂ්‍යයිනි, සියල්ලෝම මාගේ වචනය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද, රෑ ද, තොපට පුද පූජා පවත්වයි ද, එහෙයින් ඔවුන් ව අප්‍රමාදීව රැක ගනිවු.

 

3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

මේ මනුෂ්‍ය ලෝකයෙහි හෝ අන් ලොවක හෝ (නාග ලෝකය ආදී) යම් ධනයක් වේ ද, දිව්‍ය ලෝකයන්හි හෝ යම් ප්‍රණීත රත්නයක් වේ ද, තථාගතයන් හා සමාන වූවක් නැත. මෙය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

4. ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතො
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

කෙලෙස් ක්ෂය කරවන්නා වූ, රාගයෙන් තොර වූ, කිසි කලෙක නොනැසෙන්නා වූ, එහෙයින් ප්‍රණීත වූ යම් නිවනක් ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ ආර්යමාර්ග සමාධියෙන් එකඟ වූ සිතින් අවබෝධ කළේ ද, එම නිර්වාණය හා සමාන ධර්මයක් නැත. මෙය ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

5. යම්බුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ විසින් යමක් ඉතා පිරිසිදු යැයි ප්‍රශංසා කළේ ද, එය ආනන්තරික (නිරුද්ධ වීමෙන් අනතුරුව ම ඵල දෙන) සමාධිය යැයි කියති. එය (අර්හත් මාර්ග සමාධිය) හා සමාන අන් කිසිඳු සමාධියක් නැත. මෙය ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

6. යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්යා සුගතස්ස සාවකා
ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝෙ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

සත් පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද යම් පුද්ගලයින් අට දෙනෙක් වෙත් ද, ඔවුහු යුගල වශයෙන් සතරක් වෙති (සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්). බුදුන්ගේ ශ්‍රාවක වූ ඒ ආර්යය පුද්ගලයෝ දක්ෂිණාවට (කර්ම, කර්මවිපාක අදහා දෙන දානය පිළිගැනීමට) සුදුසු වෙති. උන්වහන්සේලාට දෙන දානය මහත්ඵල වන්නේ ය. මෙය සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

7. යේ සුප්පයුත්තා මනසා දළ්හේන
නික්කාමිනෝ ගෝතම සාසනම්හි
තෙ පත්ති පත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ගෞතම ශාසනයෙහි යම් කෙනෙක් මනා කොට යෙදුනා වූ ස්ථිර සිතින්, සියලු කෙලෙසුන්ගෙන් නික්මෙයි ද, ඔහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණ, නිවනට අරමුණු වශයෙන් බැස, වියදමක් නොකොට ලබන්නා වූ අරහත් ඵල සමවත් සුවය වළඳති. මෙය සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

8. යථින්ද ඛීලෝ පඨවිං සිතෝ සියා
චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි
යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝෙ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ඉන්ද්‍රඛීල නම් වූ පොළොවෙහි සිටුවා ඇති කණුව, සිවු දිගින් හමන සුළඟ හමුවේ නොසෙල්වී සිටින්නේ යම්සේ ද, යමෙක් ආර්ය සත්‍යය නුවණින් බැස දකී නම්, ඒ සත්පුරුෂයා (සෝවාන් පුද්ගලයා) ඒ හා සමාන කොට කියමි (නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වේ). මෙය සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

9. යේ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදේසිතානි
කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා
න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝෙ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආර්ය සත්‍යයන් අවබෝධ කර ගන්නේ ද, ඔහු (එම සෝවාන් පුද්ගලයා) යම් හෙයකින් (දෙව්ලොව ආදී සුගති වල ඉපදීම හේතුවෙන්) බොහෝ සේ ප්‍රමාද වුවද, අටවන භවයක නූපදී (භව හතකින් රහත් වෙති). මෙය සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

10. සහාවස්ස දස්සන සම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි
චතූහපායේහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බෝ කාතුං
ඉදම්පි සංඝෙ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

දර්ශන සමාපත්තිය (සෝවාන් මාර්ගය) සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාව ද, යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද, යන සංයෝජන ධර්ම තුන අත්හරිනු ලැබේ. ඔහු සතර අපායෙන් මිදෙති. ඒකාන්තයෙන් ම අපායගාමී වන අකුසල් සය (පඤ්චානන්තරිය කර්ම හා නියත මිත්‍යාදෘෂ්ටිය) නොකරන්නෙක් වේ. මෙය සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

11. කිඤ්චාපි සො කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ඒ සෝවාන් ආර්යයන් වහන්සේ කයින්, වචනයෙන් හෝ සිතින් යම් පවක් කළේ ද (ඇවතකට පත් වූයේ ද), උන්වහන්සේ එය සැඟවීමට අපොහොසත් වේ (නොපමාව පාපොච්චාරණය කර සංවරයෙහි පිහිටයි). එසේ සැඟවීමට නොහැකි වීම සෝවාන් මාර්ග ඥානයේ ස්වභාවය යි. මෙය සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

12. වනප්ප ගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි
නිබ්බාණ ගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ග්‍රීෂ්ම ඍතුවෙ පළමු වන මාසෙයෙහි (බක් මාසයෙහි) වන ලැහැබ් යම්සේ මලින් පිපුණු අතු අග සහිත වන්නේ ද, එයට උපමා කළ හැකි, නිවනට පමුණුවන, උතුම් ධර්මයක්, පරම හිත සුව පිණිස (බුදුරජාණන් වහන්සේ විසින්) දේශනා කරන ලදි. මෙය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

13. වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ
අනුත්තරෝ ධම්මවරං අදේසයි
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

උතුම් (ශ්‍රේෂ්ඨ) වූ, උතුම් නිර්වාණ ධර්මය දන්නා වූ, උතුම් ධර්මය දෙන්නා වූ, උතුම් නිවන් මඟ ගෙන දෙන්නා වූ, සියල්ලන්ට වඩා (ශීල ආදී ගුණ වලින්) උත්තරීතර වූ , (බුදුරජාණන් වහන්සේ), උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

14. ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තේ ඛීණ බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථායම්පදීපො
ඉදම්පි සංඝෙ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

පෙර කර්ම ක්ෂය කළා වූ, අළුත්තින් කර්ම රැස් කිරීමක් නැත්තා වූ, මතු භවයක ඉපදීමේ කැමැත්තක් නැත්තා වූ, ප්‍රතිසන්ධි විඥාන බීජ ක්ෂය කළා වූ, වැඩෙන ඡන්දයක් නැත්තා වූ ඒ රහතන් වහන්සේලා මේ පහන නිවී ගියාක් මෙන් පිරිනිවෙති. මෙය සංඝයා කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

15. යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි වෙසෙන්නා වූ හෝ අහසෙහි වෙසෙන්නා වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් සිටී ද, (ඔවුන් ද, මම ද) දෙව් මිනිසුන් විසින් පුදන ලද බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

16. යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි වෙසෙන්නා වූ හෝ අහසෙහි වෙසෙන්නා වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් සිටී ද, (ඔවුන් ද, මම ද) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථගත සද්ධර්මයට නමස්කාර කරමු. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

17. යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දෙව මනුස්ස පූජිතං
සංඝං නමස්සාම සුවත්ථි හෝතු

පොළොවෙහි වෙසෙන්නා වූ හෝ අහසෙහි වෙසෙන්නා වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් සිටී ද, (ඔවුන් ද, මම ද) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත ශ්‍රාවක සංඝයාට නමස්කාර කරමු. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

 

 

[ මෙම වටිනා පිරිතෙහි අර්ථය දැනගෙන, නිවැරදිව සජ්ඣායනය කිරීම රෝග සුවකර ගැනීමට, ආරක්ෂාව සළසා ගැනීමට හා බොහෝ උපද්‍රව වළක්වා ගැනීමට උපකාර වේ. ]

 

 

References:
Many thanks (and good karma) for those responsible for the following links:
[1] අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, පොහොය දිනය, 59-60
[2] Path to Nirvana – රතන සූත්රය – පදයෙන් පදය අර්ථය දැන ගන්න කැමති ඔබට
[3] නා උයනේ අරියධම්ම නාහිමි – රතන සුත්‍රය +110
[4] විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය – රතන සූත්‍රය අර්ථය සමග
[5] http://www.thripitakaya.org/tipitakaya/Index/621?s=21196