ආර්යය සත්‍යයන්ගේ ලක්ෂණ

 

දුක්ඛ සත්‍යයෙහි ස්වභාව සතර

  • පීළන – සිත, කය රිදවන ස්වභාවය
  • සංඛත – හේතූන්ගෙන් හට ගන්නා බැවින් නැවත නැවත ඉපදවිය යුතු බව
  • සන්තාප – දවන්නා වූ ස්වභාවය. නැවත නැවත දවන්නා වූ ස්වභාවය
  • විපරිණාම – බිඳී යන්නා වූ ස්වභාවය. නැවත නැවත බිඳී යන්නා වූ ස්වභාවය

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p59-p61]


දුක්ඛ සමුදය සත්‍යයෙහි ස්වභාව සතර

  • ආයුහන – අනාගත පංචස්කන්ධයන් නැමති ජාති, ජරා, මරණ, ශෝක ආදී දුක්ඛස්කනධය නැවත නැවත රැස් කරන්නා වූ ස්වභාවය (නැවත නැවත දුක රැස් කිරීම)
  • නිධාන – වර්තමාන පංචස්කන්ධය සිඳීමත් සමග අළුත් පංචස්කන්ධයක් ලබා දෙන්නා වූ ස්වභාවය (නැවත නැවත දුක ගෙන දීම)
  • සංයෝග – සත්ත්වයා පංචස්කන්ධය නැමති දුකෙහි තදින් බැඳ තබන්නා වූ ස්වභාවය (දුකෙහි තදින් බැඳ තැබීම)
  • පළිබෝධ – සත්ත්වයා නිවන් මගට පැමිණීම වළක්වන්නා වූ ස්වභාවය (දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බාධා කිරීම)

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p110-p118]

 

දුක්ඛ නිරෝධ සත්‍යයෙහි ස්වභාව සතර

  • නිස්සරණ – ක්ලේශයන්ගෙන් හා දුක්ඛයෙන් මිදුනු බව.
  • විවේක – ක්ලේශයන්ගෙන් හා දුක්ඛයෙන් හිස් බව.
  • අසංඛත – පවත්වා ගැනීමක්, නැවත නැවත උපදවා ගැනීමක් නැති බව
  • අමත – කිසි කලෙක නොබිඳෙන, නොනැසෙන ස්වභාවය

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p129-p132]


දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍යයෙහි ස්වභාව සතර

  • නෙයියාන – සසරින් එතරට පමුණුවන්නා වූ ස්වභාවය
  • හේතු – නිවන් ලැබීමට හේතු වන ස්වභාවය
  • දස්සන – නිර්වාණය ඇතුළු චතුරාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා වූ ස්වභාවය
  • ආධිපත්‍ය – ලෝකෝත්තර මාර්ගය ලබා ගත් සත්ත්ව සන්තානයට අධිපතිකම් කරන්නා වූ ස්වභාවය

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය, p169-p172]

 

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, වතුරාර්ය සත්‍යය

 

සප්ත විශුද්ධිය

  1. ශීල විශුද්ධිය – ශීල විශුද්ධිය යනු පිරිසිදු සීලය යි.
  2. චිත්ත විශුද්ධිය – චිත්ත විශුද්ධිය යනු සිත කිලිටි කරන නීවරණයන් යටපත් කිරීමට සමත් බලවත් සමාධිය යි.
  3. දිට්ඨි විශුද්ධිය – දිට්ඨි විශුද්ධිය යනු නාම රූපයන් ඇති සැටියට දක්නා වූ, ඝන සංඥාව, ආත්ම දෘෂ්ටිය දුරුකරන්නා වූ ඥානය යි. (නාම රූප පරිච්ඡේද ඥානය)
  4. කංඛා විතරණ විශුද්ධිය – කංඛා විතරණ විශුද්ධිය යනු අතීත, අනාගත නාමරූප ස්කන්ධ පිළිබඳ පවතින සැක දුරු කරන්නා වූ, නාම රූපයන්ගේ උත්පත්ති හේතූන් දන්නා ඥානය යි. (නාම රූපයන්ගේ හේතු ඵල සම්බන්ධය දක්නා ඥානය)
  5. මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය – මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය යනු විදර්ශනා උපක්ලේශයන් දුරු කොට විදර්ශනා භාවනාව දියුණු වීම සඳහා ගත යුතු නිවැරදී මාර්ගය හා වැරදි මාර්ගය දැන ගන්නා වූ නුවණයි.
  6. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය – ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය යනු උදයව්‍ය ඥානයේ පටන් අනුලෝම ඥානය දක්වා ඇති විදර්ශනා ඥාන 9 යි.
  7. ඥාන දර්ශන විශුද්ධිය – ඥාන දර්ශන විශුද්ධිය යනු ලෝකෝත්තර මාර්ග සතර යි.

 

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය, p318- 332]
[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, විදර්ශනා භාවනා ක්‍රමය, p47-204]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, විදර්ශනා භාවනා ක්‍රමය

විදර්ශනා ඥාන 10

 

  1. සම්මර්ශන ඥානය – ඝන සංඥාව බිඳී, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ දක්නා ඥානය.
  2. උදයව්‍යය ඥානය – සංස්කාරයන් උපදින ආකාරයත්, බිඳි බිඳී යන ආකාරයත් දක්නා ඥානය.
  3. භංගානුදර්ශන ඥානය – සංස්කාරයන්ගේ බිඳීම පමණක් දක්නා ඥානය.
  4. භයතුපට්ඨාන ඥානය – බිඳි බිඳී යන සංස්කාරයන් භයානක දෙයක් සැටියට, බිය විය යුත්තක් සැටියට දක්නා ඥානය.
  5. ආදීනව ඥානය – සංස්කාරයන්ගේ බිඳීම කිසිවිටෙක නොනැවැත්විය හැකි බව, එහි අසරණ බව දක්නා ඥානය.
  6. නිබ්බිදා ඥානය – සංස්කාරයන් පිළිබඳ කළකිරුනු ස්වභාවයෙන් යුක්ත ඥානය.
  7. මුඤ්චිතුකම්‍යතා ඥානය – සංස්කාරයන්ගෙන් මිදීමේ අදහසින් යුක්ත ඥානය.
  8. පටිසංඛානුපස්සනා ඥානය – සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ විස්තර වශයෙන් දක්නා ඥානය.
  9. සංඛාර උපේක්ෂා ඥානය – සංස්කාරයන් පිළිබඳ ඇල්ම හා බිය දුරු කරමින් ඒවා පිළිබඳ මධ්‍යස්ථ වන්නා වූ ඥානය.
  10. අනුලෝම ඥානය – කලින් ඇති වූ විදර්ශනා ඥානය වලට හා මතු ලබන්නා වූ මාර්ග ඥානයට අනුකූලව පවත්නා වූ විදර්ශනා ඥානය.

 

[අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි, අභිධර්ම මාර්ගය, 328-331]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය



දස සංඥාව (ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන්)

1. අනිත්‍ය සංඥාව (අනිච්චසඤ්ඤා)

ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙසේ විමසීම:

  • රූපය අනිත්‍යයි
  • වේදනාව අනිත්‍යයි
  • සංඥාව අනිත්‍යයි
  • සංස්කාර අනිත්‍යයි
  • විඤ්ඤාණය අනිත්‍යයි


2. අනාත්ම සංඥාව (අනත්තසඤ්ඤා)

ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙසේ විමසීම:

  • ඇස අනාත්මයි, ඇසට පෙනෙන රූප අනාත්මයි
  • කන අනාත්මයි, කනට ඇසෙන ශබ්ද අනාත්මයි
  • නාසය අනාත්මයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනාත්මයි
  • දිව අනාත්මයි, දිවට දැනෙන රස අනාත්මයි
  • කය අනාත්මයි, කයට දැනෙන පහස අනාත්මයි
  • මනස අනාත්මයි, මනසට දැනෙන අරමුණු අනාත්මයි


3. අසුභ සංඥාව (අසුභසඤ්ඤා)

යටි පතුලෙන් උඩ සිට හිස් කෙස්වලින් පහළට සමකින් වැසී තිබෙන නානා ප්‍රකාර අසුචියෙන් පිරුණු මේ කය පිළිබඳ නුවණින් විමසීම. මේ ශරීරය යනු,

  • කෙස්, ලොම්, නිය, දත්, සම
  • මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඬුව
  • හදවත, අක්මාව, දළබුව, ඇලදිව, පපු මස (පෙනහැල්ල)
  • අතුණු, අතුණුබහන්, ආහාර, අසූචි, හිස් මොළ
  • පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල්
  • කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිදුලු, මුත්‍ර

මේ ආකාරයෙන් කය අසුභ වශයෙන් ප්‍රත්‍යවෙක්‍ෂා කිරීම.


4. ආදීනව සංඥාව (ආදීනවසඤ්ඤා)

ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙසේ විමසීම:

මේ කය බොහෝ දුක් තිබෙන, ආදීනව තිබෙන දෙයකි. මේ කයේ විවිධාකාර රෝගාබාධ උපදියි. ඇස් රෝග, කන් රෝග, නාස රෝග, දිවේ රෝග, කයේ රෝග, හිසේ රෝග, පිටි කනේ රෝග, මුඛ රෝග, දත් රෝග, ක්ෂය රෝග, ඇදුම රෝග, පීනස් රෝග, දාහ රෝග, උණ රෝග, කුසේ රෝග, සිහි මුර්ජා වීම, ලේ අතීසාර රෝග, අර්ශස් රෝග, කොලරා රෝග, කුෂ්ඨ රෝග, ගඩු රෝග, හමේ රෝග, ශ්වාස රෝග, අපස්මාර රෝග, දද රෝග, කඩුවේගන් රෝගය, කැසීමෙන් ගෙඩි හට ගත් රෝග, කැසීම් රෝග, පණු හොරි රෝගය, රත්පිත් රෝගය, දියවැඩියා රෝගය, අංශභාග රෝග, පිළිකා රෝග, භගන්දරා රෝගය, පිතෙන් හටගන්නා රෝග, සෙමෙන් හටගන්නා රෝග, වාතයෙන් හටගන්නා රෝග, තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝග, ඍතු විපර්යාසවලින් හටගන්නා රෝග, වැරදි ලෙස කය හැසිරවීමෙන් හටගන්නා රෝග, උපක්‍රමයෙන් හටගන්නා රෝග, කර්ම විපාකයෙන් හටගන්නා රෝග, සීතල, උණුසුම, කුසගින්න, පිපාසය, මලපහ කිරීම, මුත්‍රා කිරීම

මේ අයුරින් කය පිළිබඳ ආදීනව නුවණින් දකිමින් වාසය කිරීම.


5. ප්‍රහාණ සංඥාව (පහානසඤ්ඤා)

  • උපන්නා වූ කාම විතර්ක නොඉවසීම, අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.
  • උපන්නා වූ ව්‍යාපාද විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.
  • උපන්නා වූ විහිංසා විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.
  • උපනූපන් පාපී අකුසල විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.


6. විරාග සංඥාව (විරාගසඤ්ඤා)

ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙසේ නුවණින් විමසීම:

මෙය ශාන්ත ය. මෙය ප්‍රණීත ය. එනම් සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, විරාග වූ අමාමහ නිවනයි.


7. නිරෝධ සංඥාව (නිරොධසඤ්ඤා)

ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙසේ නුවණින් විමසීම: 

මෙය ශාන්ත ය. මෙය ප්‍රණීත ය. එනම් සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, දුක නිරුද්ධ වී ගිය අමාමහ නිවනයි.


8. සියලු ලෝකය පිළිබඳ නොඇලීමේ සංඥාව (සබ්බලොකෙ අනභිරතිසඤ්ඤා)

ස්කන්ධ, ධාතු, ආයතන ලෝකය කෙරෙහි තිබෙන යම් බැසගැනීමක් තිබේද, බැඳීමක් ඇද්ද, චේතනාත්මක අදිටන් කිරීමක් ඇද්ද, අභ්‍යන්තරව කෙලෙස් පැවැත්වීමක් ඇද්ද, ඒවා දුරු කරමින්, නොබැඳෙමින්, නොඇලී සිටීම.


9. සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව (සබ්බසඞ්ඛාරෙසු අනිච්ඡාසඤ්ඤා)

සියලු සංස්කාර පිළිබඳ පීඩාවට පත් වීම, ලැජ්ජාවට පත් වීම, ගැරහීම, පිළිකුලට පත් වීම.


10. ආනාපානසතිය (ආනාපානස්සති)

ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන භාවනා කරන අරමුණ පිළිබඳ සිහිය පිහිටුවාගෙන,

  • සිහියෙන් යුතුව ම හුස්ම ගන්නවා. සිහියෙන් යුතුව ම හුස්ම හෙළනවා.
  • දීර්ඝ ලෙස ආශ්වාස කරනවා නම් දීර්ඝ ලෙස ආශ්වාස කරමියි දැනගන්නවා.
  • කෙටියෙන් ආශ්වාස කරනවා නම් කෙටියෙන් ආශ්වාස කරමියි දැනගන්නවා.
  • සියලු කය පිළිබඳ ව මනා සංවේදී බවකින් යුතුව ආශ්වාස කරනවායි හික්මෙනවා. සියලු කය පිළිබඳ ව මනා සංවේදී බවකින් යුතුව ප්‍රාශ්වාස කරනවායි හික්මෙනවා.
  • ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සැහැල්ලු කරමින් ආශ්වාස කරනවායි හික්මෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සැහැල්ලු කරමින් ප්‍රාශ්වාස කරනවායි හික්මෙනවා.
  • ප්‍රීතිය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ප්‍රීතිය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • සැපය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සැපය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාරයන් පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාරයන් පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • චිත්ත සංස්කාර සැහැල්ලු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. චිත්ත සංස්කාර සැහැල්ලු කරමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • සිත පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සිත පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • වඩ වඩාත් ප්‍රමුදිත කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. වඩ වඩාත් ප්‍රමුදිත කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • වඩ වඩාත් සිත එකඟ කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. වඩ වඩාත් සිත එකඟ කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • ඇල්ම දුරුකිරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ඇල්ම දුරුකිරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • ඇල්ම නිරුද්ධ කිරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ඇල්ම නිරුද්ධ කිරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.
  • සියලු කෙලෙස් අත්හැරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සියලු කෙලෙස් අත්හැරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.



References:

Many thanks (and good karma) to the people responsible for the following links:

[1] https://pitaka.lk/main/
[2]https://www.facebook.com/1578717445774608/photos/a.1578840812428938.1073741828.1578717445774608/1642222602757425/?type=3
[3] http://archives.dinamina.lk/2010/01/20/_art.asp?fn=a1001204

ධාතු අටළොස

 

ධාතු යන වචනයෙන් අදහස් කරන්නේ සත්ත්ව පුද්ගල නොවන දෙය යනු ය. ධාතු වශයෙන් 18කට බෙදා ඇත්තේ ආයතන යනුවෙන් 12කට බෙදන ලද ධර්ම සමූහය ම ය. මනායතනය ධාතු විභාගයෙහි දී චක්ඛු විඤ්ඤාණ ධාතුව, සෝත විඤ්ඤාණ ධාතුව, ඝාණ විඤ්ඤාණ ධාතුව, ජිව්හා විඤ්ඤාණ ධාතුව, කාය විඤ්ඤාණ ධාතුව, මනෝ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව වශයෙන් කොටස් 7කට බෙදා ඇත. ආයතන හා ධාතු වල ඇති වෙනස එයයි.

සමහරුන්ට විඤ්ඤාණයෙහි ආත්ම සංඥාව තදින් ඇත. ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුනගේ ආත්ම සංඥාව දුරු නොවේ. එවැනි පුද්ගලයින්ගේ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා විඤ්ඤාණය වැඩි දුරටත් විභාග කොට ඇති ධාතු විභාගය දේශනා කොට තිබේ.

1. චක්ඛු ධාතුව
     • චක්ඛු ප්‍රසාදය

2. සෝත ධාතුව
     • සෝත ප්‍රසාදය

3. ඝාණ ධාතුව
     • ඝාණ ප්‍රසාදය

4. ජිව්හා ධාතුව
     • ජිව්හා ප්‍රසාදය

5. කාය ධාතුව
     • කාය ප්‍රසාදය

6. රූප ධාතුව
     • වර්ණ රූපය

7. ශබ්ද ධාතුව
     • ශබ්ද රූපය

8. ගන්ධ ධාතුව
     • ගන්ධ රූපය

9. රස ධාතුව
     • රස රූපය

10. පොට්ඨබ්බ ධාතුව
     • ස්ප්‍රෂ්ටව්‍යය (පඨවි, තේජෝ, වායෝ)

11. චක්ඛු විඤ්ඤාණ ධාතුව
     • අහේතුක උපේක්ෂා සහගත කුසල විපාක චක්ඛු විඤ්ඤාණය
     • අහේතුක උපේක්ෂා සහගත අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය

12. සෝත විඤ්ඤාණ ධාතුව
     • අහේතුක උපේක්ෂා සහගත කුසල විපාක සෝත විඤ්ඤාණය
     • අහේතුක උපේක්ෂා සහගත අකුසල විපාක සෝත විඤ්ඤාණය

13. ඝාණ විඤ්ඤාණ ධාතුව
     • අහේතුක උපේක්ෂා සහගත කුසල විපාක ඝාණ විඤ්ඤාණය
     • අහේතුක උපේක්ෂා සහගත අකුසල විපාක ඝාණ විඤ්ඤාණය

14. ජිව්හා විඤ්ඤාණ ධාතුව
     • අහේතුක උපේක්ෂා සහගත කුසල විපාක ජිව්හා විඤ්ඤාණය
     • අහේතුක උපේක්ෂා සහගත අකුසල විපාක ජිව්හා විඤ්ඤාණය

15. කාය විඤ්ඤාණ ධාතුව
     • අහේතුක උපේක්ෂා සහගත කුසල විපාක කාය විඤ්ඤාණය
     • අහේතුක උපේක්ෂා සහගත අකුසල විපාක කාය විඤ්ඤාණය

16. මනෝ ධාතුව
     • පඤ්චද්වාරාවජ්ජනය
     • කුසල විපාක සම්පටිච්ජනය
     • අකුසල විපාක සම්පටිච්ජනය

17. මනෝ විඤ්ඤාණ ධාතුව
     • ඉහත සඳහන් සිත් 13 හැර ඉතිරි සිත් 76

18. ධම්ම ධාතුව
     • චෛතසික 52
     • සූක්ෂම රූප 16
     • නිර්වාණය

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය, 241 – 242]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය

 

ආයතන දොළස

 

  1. චක්ඛායතනය – චක්ඛු ප්‍රසාදය
  2. සෝතායතනය – සෝත ප්‍රසාදය
  3. ඝානායතනය – ඝාන ප්‍රසාදය
  4. ජිව්හායතනය – ජිව්හා ප්‍රසාදය
  5. කායාතනය – කාය ප්‍රසාදය
  6. මනායතනය – සිත් 89
  7. රූපායතනය – වර්ණ රූපය
  8. සද්දායතනය – ශබ්ද රූපය
  9. ගන්ධායතනය – ගන්ධ රූපය
  10. රසායතනය – රස රූපය
  11. ඵොට්ඨබ්බායතනය – පඨවි, තේජෝ, වායෝ රූප
  12. ධම්මායතනය – චෛතසික 52, සූක්ෂම රූප 16, නිර්වාණ ධාතුව

චක්ඛායතනය ආදී ආයතන 6, ආධ්‍යාත්මික ආයතන නමින් හැඳින් වේ. රූපායතනය ආදී ආයතන 6 බාහිර ආයතන නමින් හැඳින් වේ. ආයතන 12 ලෙස දක්වා ඇත්තේ ස්කන්ධ නමින් දැක්වුණු පරමාර්ථ ධර්මයන් ම ය. එහි වෙනස නම්, ආයතන 12ට නිර්වාණ ධාතුවත් ඇතුළු කර තිබීම ය.

පරමාර්ථ ධර්ම සමූහය ආයතන වශයෙන් 12කට බෙදා තිබෙන්නේ විත්ත චෛතසික වල ක්‍රියා කරීම අනුව ය. චක්ඛායතන, රූපායතන දෙකෙහි චක්ඛුද්වාරික චිත්ත චෛතසික ක්‍රියා කරයි. මෙසේ අනෙකුත් ආයතන පිළිබඳව ද සිතා ගත යුතුය. චිත්ත චෛතසිකයන් ඉපිද තම තමා අයත් කෘත්‍යයන් සිදු කරන ස්ථාන ආයතන නම් වේ.

ඇතමෙක් නාම ධර්ම ආත්මය වශයෙන් තදින් ගෙන සිටිති. ස්කන්ධ ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සක්කාය දෘෂ්ටිය දුරු නොවේ. ඔවුන් සඳහා පරමාර්ථ ධර්ම සමූහය කොටස් 12කට බෙදා තිබේ.

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය, 240 – 241]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය

පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය

පංචස්කන්ධය

  • රූප ස්කන්ධය – රූප 28
  • වේදනා ස්කන්ධය – වේදනා චෛතසිකය
  • සංඥා ස්කන්ධය – සංඥා චෛතසිකය
  • සංස්කාර ස්කන්ධය – වේදනා, සංඥා හැර ඉතිරි චෛතසික 50
  • විඤ්ඤාණ ස්කන්ධය – සිත් 89

සතර පරමාර්ථ ධර්මයන්ගෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පංචස්කන්ධයට අයත් ය (රූප 28, චිත්තය, චෛතසික 52). කාලයකට අයත් නොවන බැවින් හා එක් ධර්මයක් ව පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත. එබැවින් එය ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවේ.

ආත්ම සංඥාව මෙම කොටස් පහේ වෙන වෙන ම ඇති වේ. නාමරූප ධර්ම මෙසේ 5කට බෙදා තිබෙන්නේ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා ය. 


පංචඋපාදානස්කන්ධය

ඉහත සඳහන් පංචස්කන්ධය, මගේ ය, මම ය, වශයෙන් තදින් ගන්නා තණ්හා, දිට්ඨි යන ධර්ම දෙක උපාදාන නම් වේ. මෙහිදී සම්පූර්ණ  පංචස්කන්ධය ම උපාදානයට හසු නොවේ. එනම් ලෝකෝත්තර ධර්ම උපදානයන්ට හසු නොවේ. එයට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන ලෞකික ධර්මයන් ය.

සසර දුකින් මිදීමට උපාදාන නැති කළ යුතු ය. ඒ සඳහා උපාදානයන් වැඩීමට ස්ථාන වන නාම රූප ධර්ම විදර්ශනා කළ යුතු ය. විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන් කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ 5 වදාරා තිබේ.

  • රූප උපාදානස්කන්ධය – රූප 28
  • වේදනා උපාදානස්කන්ධය – ලෞකික සිත් 81හි උපදින වේදනා චෛතසිකය
  • සංඥා උපාදානස්කන්ධය – ලෞකික සිත් 81හි උපදින සංඥා චෛතසිකය
  • සංස්කාර උපාදානස්කන්ධය – ලෞකික සිත් 81හි උපදින ඉතිරි චෛතසික 50
  • විඤ්ඤාණ උපාදානස්කන්ධය – ලෞකික සිත් 81

 

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය, 237 – 239]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, අභිධර්ම මාර්ගය