ආහාර ප්‍රත්‍යවේක්‍ෂා පාඨයෙන් මතුකර ගත හැකි දහම් කරුණු කිහිපයක්

පොහොය දින වලදී අටසිල් හෝ දසසිල් සමාදන් වී දානය අනුභව කරන පින්වතුන්ගේ සිල්වත් බව වැඩිවන තරමටම, දායකත්වය දරන පින්වතුන්ගේ කුසලය මහත් ඵල, මහත් ආනිසංශ වේ. තමා සමාදන්වූ සීලය හැකි සෑම මොහොතකම මෙනෙහි කිරීම (ආවර්ජනා කිරීම) සතිය දියුණු වීමට හා ශීලය හොඳින් රැක ගැනීමට උපකාර වේ. එබැවින්, දෙතිස් කතාවලින් වැලකී, හැකි සෑම විටකම සමාදන්වූ සිල්පද මෙනෙහි කිරීම ඉතා වැදගත් ය.

මෙයට අමතරව, ආහාර අනුභව කිරීමෙදී පවා අකුසල් නූපදින ආකාරයට හා කුසල් වැඩෙන ආකාරයට ප්‍රත්‍යවේක්‍ෂා කරමින් ආහාර අනුභව කිරීම ඉතා හොඳය. ඒ සඳහා පහත සඳහන් කරුණු උපයෝගී කරගත හැක.

  • “මා මේ ආහාරය අනුභව කරනුයේ රස විඳීම පිණිස නොවේ” යැයි මෙනෙහි කිරීමෙන් රස තෘෂ්ණාව හීන වේ.

  • රසය දැනෙන්නේ දිවට නොව සිතට බවත්, සෑම සිතකම ආයු කාලය එක් චිත්තක්ෂණයක් පමණක් බවත්, මෙසේ පහල වූ සිත ඊළඟ ක්‍ෂණයේදී නිරුද්ධ වන බවත් මෙනෙහි කිරීමෙන් අනිත්‍ය ලක්‍ෂණය කෙරෙහි සිත යොමු වේ.

  • “ඔද වැඩීම පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. ක්‍රීඩා පිණිස නොවේ. ශරීරය තර කරගැනීම පිණිස නොවේ. ශරීරය පැහැපත් කරගැනීම පිණිස නොවේ” යනාදී වශයෙන් පවසන කල, ඒ හා බැඳුනු ලෝභය, මානය, දිට්ඨිය ආදී අකුසල සිතුවිලි බැහැර වේ.

  • “කාය-ජීවිත දෙක පවත්වා ගැනීම පිණිසත්, ශීලාදී ගුණ ධර්මයන් ආරක්‍ෂා කරගැනීම පිණිසත් ය” යනුවෙන් පැවසීම අප්‍රමාදී බව ඇති කර ගැනීමට උපකාර වේ.

  • “ආහාර යැයි කියනුයේ ධාතු සමූහයකි. අපගේ ශරීරයද ධාතු සමූහයකි. ආහාරය ශරීරය තුළට ඇතුලුවුනා යැයි ආහාරය නොදනී. තමා තුළට ආහාරයක් ඇතුලු වුනා යැයි ශරීරය නොදනී. ඔවුනොවුන්ගේ දැන ගැනීමක් නොමැති බැවින් මමය, මාගේය කියා ගත හැකි සත්ත්ව-පුද්ගල භාවයක් මෙහි නැත්තේමය” යනාදී වශයෙන් පවසන කල  අනාත්ම ලක්‍ෂණය කෙරෙහි සිත යොමු වේ.

  • මීට අමතරව, අනුභව කරන ආහාරයෙහි ප්‍රකටව තිබෙන පඨවි ධාතුව, දත් නැමැති පඨවි ධාතුව සමග සිදුවන ගැටීම කෙරෙහි සිත යොමු කිරීම ධාතු මනසිකාරයකි.

  • “පිරිසිදුවූ මෙම ආහාරය, අනුභව කිරීමේදී කෙල, සෙම ආදිය සමග මිශ්‍ර වීමෙන් පිළිකුල් බවට පත්වන්නේය” යනුවෙන් පවසීමෙන් අශුභය කෙරෙහි සිත යොමු වේ.

  • “මෙම දානය පිළියෙල කිරීම සඳහා තමන් විසින් ධාර්මිකව උපයාගත් ධනය වියපැහැදම් කලාවූ ද, වෙහෙස මහන්සි වුනාවූ ද, පැමිණි නොපැමිණි සියළු පින්වතුන්, නිදුක්වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!” යැයි පැවසීමෙන් මෛත්‍රිය වැඩේ.

  • අවසාන වශයෙන්, “ඔවුනගේ යහපත් බලාපොරොත්තු, ධාර්මික අදහස් සර්වප්‍රකාරයෙන් සමුර්ධිමත් වේවා! පතන්නාවූ බෝධියකින් උතුම් නිවන් සැප අත් කරගනිත්වා!” යි පවසන කල එය පින් අනුමෝදන් වීමකි.

මෙසේ, අනුභව කරන ආහාර පිඬක් පිඬක් පාසාම අවබෝධයෙන් යුතුව ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් තමන්ටත්, දායකත්වය දරන පින්වතුන්ටත්, මහත් ඵල, මහත් ආනිසංශ ලබා ගත හැක.