දස අකුසල් (dasa akusal)

1. පානාතිපාතය 

පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • පණ ඇති සත්ත්වයෙක් වීම
  • පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
  • මැරීමේ චේතනාව (කැමැත්ත)
  • මරන්නට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම උපක්‍රමය හෝ උත්සාහය නිසා එම සත්ත්වයාගේ මරණය සිදු වීම

 

2. අදින්නාදානය

අදින්නාදානය යනු අනුන්ට අයත් වස්තුවක්, හිමියාට හොරෙන් හෝ ඔහු රැවටීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම ය. අදත්තාදාන අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • අන්සතු වස්තුවක් වීම
  • අන්සතු වස්තුවක් බව දැන සිටීම
  • එම වස්තුව සොරකම් කිරීමේ චේතනාව (කැමැත්ත)
  • එම වස්තුව සොරකම් කිරීමට උපක්‍රම යෙදීම හෝ උත්සහ කිරීම
  • එම වස්තුව සොරකම් කිරීම


3. කාමමිත්‍යාචාරය

කාමමිත්‍යාචාරය යනු සමාජ චාරිත්‍රයට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. කාමමිත්‍යාචාර අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • සේවනය නොකළ යුතු ස්ත්‍රියෙකු හෝ පුරුෂයෙකු වීම
  • සේවනය කිරීමේ චේතනාව (කැමැත්ත)
  • සේවනය සඳහා උත්සහ කිරීම
  • සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම

 

4. මුසාවාදය

මුසාවාදය යනු අනුන් මුළා කිරීමේ අදහසින් අසත්‍ය පැවසීම ය. මුසාවාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • කියන කරුණ අසත්‍යයක් වීම
  • අනුන් රැවටීමේ චේතනාව
  • එම අසත්‍යය කරුණ ඇඟවීමට උත්සහ දැරීම
  • කියන ලද කරුණ ඇසූ පුද්ගලයා විසන් තේරුම් ගැනීම

 

5. පිශුනාවාචය

පිශුනාවාචය යනු අසන්නාට තමා ප්‍රියයෙකු වී, අනෙකෙකු අප්‍රියයෙකු වන ආකාරයේ වචන ප්‍රකාශ කිරීම ය. එනම් කේළාම් කීම. පිශුනාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව
  • ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම
  • ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම

 

6. පරුෂාවාචය

පරුෂාවාචය යනු අසන්නාගේ සිත රිදවීම සඳහා ප්‍රකාශ කරන ලද වචන ය. පරුෂාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • සිත රිදවීම සඳහා පුද්ගලයෙක් සිටීම
  • ක්‍රෝධ සහගත සිත් ඇති වීම
  • සිත රිදවන වචන ප්‍රකාශ කිරීම

 

7. සම්ප්‍රප්පලාපය

සම්ප්‍රප්පලාපය යනු මෙලොව, පරලොව යහපත සඳහා හේතු නොවන, කෙලෙස් වැඩි වීමට හා කාලය නාස්ති කිරීමට හේතු වන වචන ය. සම්ප්‍රප්පලාප අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • කියන්නාට හා අසන්නන්ට ප්‍රයෝජයක් නොවන කථාවක් වීම
  • එබඳු කථාවක් කීම

 

8. අභිද්‍යාව

අභිද්‍යාව යනු අන්සතු දෑ අයිතිකර ගැනීමට සිතීම ය. එනම් දැඩි ලෝභය යි. අභිද්‍යා අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • අන් සතු වස්තුවක් වීම
  • එය අයත් කර ගැනීමට සිතීම.

 

9. ව්‍යාපාදය

ව්‍යාපාදය යනු අනුන්ගේ විනාශය පැතීම ය. ව්‍යාපාද අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • අන්‍ය සත්ත්වයෙකු වීම
  • ඔහුගේ විනාශය පැතීම

 

10. මිත්‍යාදෘෂ්ටිය

මිත්‍යාදෘෂ්ටිය යනු වැරදි මතයන් සත්‍ය ලෙස පිළිගැනීම ය. මිත්‍යාදෘෂ්ටි අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:

  • ගන්නාවූ දෘෂ්ටිය වැරදි වීම
  • එය සත්‍යය වශයෙන් පිළිගැනීම

 

[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, බෞද්ධයාගේ අත්පොත, 49-79]

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – බෞද්ධයාගේ අත්පොත

 

දස පුණ්‍ය ක්‍රියා වස්තු (dasa punya kriya)

  • දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය
  • සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම
  • භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම
  • අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම
  • වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම
  • ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම
  • පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම
  • ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම
  • ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම
  • දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම
[පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි, බෞද්ධයාගේ අත්පොත, 93-181]

 

Further reading (download link):
පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – බෞද්ධයාගේ අත්පොත

 

බුද්ධෝ තිලෝක සරණෝ (buddho thiloka sarano)

දුටුගැමුණු රජතුමා යුධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබා ගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථා තුන.
බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සූරියෝ තමෝනුදෝ

ඒවං තං සරණං ඛේමං
බුද්ධෝ මේ සරණං වරං

ගච්ඡාමි සරණං බුද්ධං
නත්ථි මෛහං භයං සදා
ධම්මෝ තිලෝක සරණෝ
ධම්මෝ සූරියෝ තමෝනුදෝ

ඒවං තං සරණං ඛේමං
ධම්මෝ මේ සරණං වරං

ගච්ඡාමි සරණං ධම්මං
නත්ථි මෛහං භයං සදා
සංඝෝ තිලෝක සරණෝ
සංඝෝ සූරියෝ තමෝනුදෝ

ඒවං තං සරණං ඛේමං
සංඝෝ මේ සරණං වරං

ගච්ඡාමි සරණං සංඝං
නත්ථි මෛහං භයං සදා

තේරුම – බුදුරජාණන් වහන්සේ තුන් ලොවට සරණ ය, තුන්ලෝ වාසීන්ගේ මෝහ නැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍ය රාජයා වැනි ය. ඒ බුද්ධරත්නය මට නිර්භය පිණස පවත්නේ ය. උතුම් ප්‍රතිෂ්ඨාධාර පිණිස පවත්නා ඒ බුද්ධරත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙකත් භයක් නැත්තේ ය.

දුටුගැමුණු රජතුමා නිතර භාවිතා කළේය යි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ජයමංගල ගාථාවක්
ජයෝ මුනිදස්ස සුබෝධිමූලෙ
අහොසි මාරස්ස පරාජයෝ හි
උග්ඝෝසයුං දේවගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු මෛහං
References:
[1] මහා පිරිත් පොත, දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමි p336, 337