පටිච්ච සමුප්පාදය – ජාති පච්චයා ජරාමරණං

ජාති ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ජරා මරණ ආදී දුක 7 විභංග ප්‍රකරණයෙහි දක්වා තිබෙන්නේ මෙසේ ය.

තත්ථ කතමං ජාති පච්චයා ජරාමරණං? අත්ථි ජරා. අත්ථි මරණං. තත්ථ කතමා ජරා? යා තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජරා ජිරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති ජරා. තත්ථ කතමං මරණං? යා තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්ත්ව නිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා බන්ධානං භේදෝ කලේඛරස්ස නික්ඛේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉදං වුච්චති මරණං. ඉති අයං ච ජරා ඉදං ච මරණං. ඉදං වුච්චති ජාති පච්චයා ජරා මරණං

එහි ජාතිය නිසා වන්නා වූ ජරා මරණය කවරේද යත්? ජරාවක් ඇත, මරණයක් ඇත. එහි ජරාව කවරේද යත්? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායෙහි යම් ජරාවක්, දිරන බවක්, කඩතොලු බවක්, සම රැලි වැටෙන බවක්, අයුෂයාගේ හානියක්, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් වේ ද, මෙය ජරාව යැයි කියනු ලැබේ. එහි මරණය කවරේද යත්? ඒ ඒ සත්ත්ව නිකායයෙන් යම් පහවීමක්, පහවන බවක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මච්චු යැයි කියන ලද මරණයක්, මරහුගේ ක්‍රියාවක්, ස්කන්ධයාගේ බිඳීමක්, මළ සිරුර තැබීමක්, ජීවිතේන්ද්‍රයාගේ සිඳීමක් වේ ද, මෙය මරණය යැයි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද, ජාතිය නිසා වන්නා වූ ජරා මරණය යි කියනු ලැබේ.

තත්ථ කතමෝ සෝකෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ චේතසෝ පරිජ්ඣයනා දෝමනස්සං සෝකසල්ලං අයං වුච්චති සෝකෝ

එහි ශෝකය කවරේ ද යත්? ඥාති ව්‍යසනයෙන් හෝ මඩනා (?) ලද්දහුගේ, භෝග ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහුගේ, රෝග ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහුගේ, ශීල ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහුගේ, දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ මඩනා ලද්දහුගේ, එක්තරා එක්තරා ව්‍යසනයෙන් යුක්ත වූවහුගේ, එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩනා ලද්දහුගේ යම් ශෝකයක්, ශෝක කරන ආකාරයක්, ශෝක කරන බවක්, අභ්‍යන්තරයෙහි ශෝකයක්, චිත්තයාගේ දැවෙන ආකාරයක්, දුක්ඛිත සිත් ඇති බවක්, ශෝක නැමති හුලක් වේ ද, මෙය ශෝකය යි කියනු ලැබේ.

තත්ථ කතමෝ පරිදේවෝ? ඤාතිබ්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගබ්‍යසනේන වා ඵුට්ඨස්ස සීලබ්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං වාචා විප්පලාපො පලාපො ලාලප්පනා ලාලප්පිතත්තං අයං වුච්චති පරිදේවෝ

එහි පරිදේවය කෙසේද යත්? ඥාති ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, භෝග ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, රෝග ව්‍යසනයෙන් පීඩිත වූවහුගේ, ශීල ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහුගේ, එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් මඩන ලද්දහුගේ, මේ මගේ පුතා, මගේ දුව යැයි කිය කයා හැඬීමක්, ගුණ කිය කයා හැඬීමක් මගේ පුතා, මගේ පුතා යැයි කිය කියා අඬන ආකාරයක්, ගුණ කිය කයා අඬන ආකාරයක්, මගේ පුතා මගේ දුව ය කියා අඬන බවක්, ගුණ කිය කියා අඬන බවක්, කීමක්, නිරර්ථක වචන කීමක්, නැවත නැවත කීමක්, නැවත නැවත කියන ආකාරයක්, නැවන නැවත කියන බවක් වේද, මෙය පරිදේවය කියනු ලැබේ.

තත්ථ කතමං දෝමනස්සං? යං චේතසිකං අසාතං චේතසිකං දුක්ඛං චේතෝ සම්ඵස්සජං අසාතං දුක්ඛං වේදයිතං චේතෝ සම්ඵස්සජා අසාතා දුක්ඛං වේදනා ඉදං වුච්චති දෝමනස්සං

එහි දෝමනස්සය කවරේද යත්? යම් සිතෙහි වූ නො මිහිරක්, සිතෙහි වූ දුකක්, සිතෙහි ස්පර්ශයෙන් හට ගන්නා වූ නො මිහිරි වූ දුක් වූ වේදයිතයක්, සිතෙහි ස්පර්ශයෙන් හට ගන්නා වූ නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේද, මෙය දෝමනස්සය යැයි කියනු ලැබේ.

තත්ථ කතමෝ උපායාසෝ? ඤාතිව්‍යසනේන වා ඵුට්ඨස්ස භෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස රෝගව්‍යසනේන වා ඵුට්ඨස්ස සීලව්‍යසනේන වා ඵුට්ඨස්ස දිට්ඨිව්‍යසනේන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං. අයං වුච්චති උපායාසො.

එහි උපායාසය කවරේද යත්? ඤාති ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, භෝග ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, රෝග ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, සීල ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ පීඩිත වූවහුගේ, එක්තරා එක්තරා ව්‍යසනයකින් යුක්ත වූවහුගේ, එක්තරා එක්තරා දුක්ඛ ධර්මයකින් පීඩිත වූවහුගේ, සිතෙහි වෙහෙසක්, සිතෙහි බලවත් වෙහෙසක්, වෙහෙසුණු සිත් ඇති බවක්, බොහෝ වෙහෙසුණු සිත් ඇති බවක් වේ ද, මෙය උපායාසය කියනු ලැබේ.

කාම, රූප, අරූප නැමති භව 3හි කොතැනක වූවද ඉපදීමක් වුවහොත් උපන් සත්ත්වයාට ජරා මරණ දෙක ඒකාන්තයෙන් ඇති වන්නේ ය. සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසය යන 5 ඇතැම් සත්ත්වයින්ට අල්ප වශයෙන් ද, ඇතැම් සත්ත්වයින්ට බහුල වශයෙන් ද ලබති. රූප හා අරූප ලෝක වල සත්ත්වයෝ ඒවා නොලබති. යමෙක් ජරා මරණ ආදිය ලබන්නේ උපන් නිසා ය. නූපන හොත් නොලබති. එබැවින් ජරා මරණ ආදියට හේතුව ජාතිය කියනු ලැබේ.

නාමරූප ධර්මයන්ගේ (සංස්කාර ධර්මයන්ගේ) මෝරන, පැසෙන, දිරන ස්වභාවය ජරාව ය. තමා විසින් වැළඳ ගන්නා ලද දෙය දවා දුබල කොට විනාශ කිරීම ගින්නේ ස්වභාවය යි. ජරාවේ ස්වභාවය ද එයම ය. උපදනා වූ සංස්කාරයක් ඉපදීමේ වේගයෙන් ම පැවතුන හොත් එය කිසිකලෙක භංගයට නොපැමිණේ. සංස්කාරයන් භංගයට පැමිණෙන්නේ ඉපදීමේ වේගය නැවතීම නිසා ය. ඉපදීමේ වේගය සිඳෙන්නේ ජරාව නිසා ය.

ජරාගින්න

මෙසේ උපදින සංස්කාරය දුබල කොට, විනාශ මුඛයට (ගින්නක් මෙන්) ගෙන යන බැවින් ජරාවට ජරාගින්න යැයි කියනු ලැබේ. ජරාගින්න තමන්ගේ අභ්‍යන්තරයට පිවිසීම වැළැක්විය හැකි ශක්තියක්, එයින් ඉවත් වී සිටිය හැකි ආනුභාවයක් ලෞකික හෝ ලෝකෝත්තර වූ කිසිම සංස්කාරයකට නැත. සියළු සංස්කාරයන් ජරාගින්නෙන් දැවී විනාශයට පත් වේ. ජරාවට නොපැමිණ බිඳෙන සංස්කාරයක් නැතඑසේ ම ජරාවට නොපැමිණ මිය යන සත්ත්වයෙක් ද නැත. මව්කුස තුළ ම මිය යන සත්ත්වයා මිය යන්නේ ද ජරාගින්නෙන් දවනු ලැබීමෙනි.

ජරාව ඇසට පෙනෙන දෙයක් නොවේ. ඇසට පෙනෙනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙන් උපදින සළකුණු පමණි. දත් නැති බව, කෙස් ලොම් පැසුණු බව, ඇඟ රැලි වැටුණු බව, කුදු ගැසුණු බව යනාදිය එයට උදාහරණයන් ය. එම ලකුණු ජරාව නොව, ජරාවේ ඵලයන් ය. ඒවා ගින්නක් හටගත් තැනක ඉතරි වන්නා වූ සළකුණු මෙන් දත යුතු ය.

ජරාගින්නෙහි ලකුණු පහළ වීමේ කාලය ඒ ඒ වස්තුවල හෝ සත්ත්ව ශරීරවල ශක්තියේ සැටියට වෙනස් වේ. බලවත් වස්තු හෝ බලවත් ශරීර වල එම ලකුණු පහළ වීමට වැඩි කාලයක් ගත වේ. දිව්‍ය, බ්‍රහ්ම ශරීර වල ජරාගින්නෙහි දැවීම ඇතත් එහි ලකුණු පහළ නොවේ.

සත්ත්වයා භවයෙහි පිළිසිඳ ගත් මොහොතෙහි පටන් ජරාගින්නෙන් සත්ත්ව සන්තානය දවනු ලැබේ. එහෙත් බාල කාලයේ දී සත්ත්ව සන්තානයට බහුල වශයෙන් එකතු වන අභිනව රුප කලාපයන් නිසා පරණ රූප දිරා දුබල වීමේ ලකුණු වැසේ. එබැවින් බාල කාලයේ දී ජරාව ප්‍රකට නොවේ. ශරීරය වැඩී සම්පූර්ණ වූ පසු අභිනව රුප පරම්පරාවන් එයට එක් වීම මඳ වේ. එකල්හි ජරා ලකුණු ප්‍රකට වන්නට පටන් ගනී.

ජරාව ඇත්තේ රූප කයට පමණක් නොවේ. චිත්ත චෛතසික නැමති නාම ධර්මයන්හි ද ජරාව ඇත. එබැවින් ජරාව රූපී සත්ත්වයින්ට පමණක් නොව, අරූපී සත්ත්වයින්ට ද ඇත.

ආයු පරිච්ඡේද ජරාව

ආයු පරිච්ඡේද ජරාව, සන්තති ජරාව, ක්ෂණික ජරාව යනුවෙන් ජරාව තෙවැදෑරුම් වේ. සත්ත්වයින්ගේ ජීවන කාලය පිරිසිඳින ජරාව ආයු පරිච්ඡේද ජරා නම් වේ. දුබල කර්ම ආදී ප්‍රත්‍යයන්ගෙන් උපන් උකුණු, මකුණු, මැසි, මදුරු ආදී ඇතැම් කුඩා සත්ත්වයින් ජරාවෙන් දවා දුබල කරනු ලැබීමෙන් සතියක් වැනි කාලයකින් මිය යති. බලවත් කර්ම ආදී ප්‍රත්‍යයන්ගෙන් උපන් සත්ත්වයින් ජරාගින්නෙහි දැවීම දීර්ඝ කාලයක් උසුලන්නට, එයට ඔරොත්තු දීමට සමත් වේ. එබැවින් ඔවුන් දීර්ඝ කාලයක් ජීවත් වෙති. ජීවතය ඉදිරියට පවත්වා ගැනීමට නොහැකි පමණට සත්ත්ව සන්තානයක් ජරාව විසින් දවා දුබල කරන්නට ගත වන කාලය එම සත්ත්වයාගේ පරම ආයුෂ නම් වේ. එබැවින් සත්ත්වයින්ගේ ආයු නියමය ජරාව මත රඳා පවතී. මෙසේ එ ඒ සත්ත්ව ජාතීන්ගේ ආයුෂ පිරිසිඳින ජරාව ආයු පරිච්ඡේද ජරාව නම් වේ.

සන්තති ජරාව

සත්ත්ව ශරීරයක චිත්තජ, ඍතුජ හා ආහාරජ යන ආගන්තුක රුප පරම්පරා ඇත. මෙම ආගන්තුක රූප ද ජරාවට ලක් වෙති. සීතල, උෂ්ණය, ධාතු කෝපය, නානාප්‍රකාර සිතිවිලි ආදිය නිසා සත්ත්ව සන්තානයෙහි නොයෙක් රූප පහළ වී, දිරීමට පත් වී, සිඳී යති. මෙසේ පහළ වන ආගන්තුක රුප පරම්පරාවන්ගේ දිරීම සන්තති ජරාව යි. ඒවායේ සිඳී යාම සන්තති මරණය යි.

චිත්ත පරම්පරාවන්ගේ ද සන්තති ජරා මරණ ඇත. විවිධ ආරම්මණ හේතුවෙන් සත්ත්ව සන්තාන වල විවිධ චිත්ත පරම්පරා පහළ වේ. ඉෂ්ට ආරම්මණ හේතුවෙන් සත්ත්ව සන්තාන වල ප්‍රීති සහගත, සෝමනස්ස සහගත සිතිවිලි පරම්පරා පහළ වේ. අනිෂ්ට අරමුණු හේතුවෙන් දෝමනස්ස සහගත සිතිවිලි පරම්පරා පහළ වේ. මෙසේ පහළ වන චිත්ත පරම්පරා වල බලය කෙමෙන් කෙමෙන් මද වී, අවසානයෙහි එම සිතිවිලි පරම්පරා සිඳී යති. එයට හේතුව එම චිත්ත පරම්පරා හට ගත් මොහොතෙහි සිටම ජරාව විසින් දුබල කරනු ලැබීම ය. උදාහරණයක් වශයෙන්, යමක් සම්බන්ධයෙන් හට ගත් ප්‍රීතිය, ආරම්භයේ දී ඉතා මිහිරි ලෙස දැනේ. කල් යත් ම එම ප්‍රතිය හීන වී, නැති වී යයි. එමෙන් ම බලවත් ක්‍රෝධයක් හට ගත් විට, ආරම්භයේ දී එය ඉතා තදින් දැනේ. කල් යාමෙන් එය දුබල වී, සන්සිඳි යයි. මෙසේ චිත්ත පරම්පරාවන්හි දුබල වීම ද සන්තති ජරාව නම් වේ. ඒවායේ සිඳී යාම සන්තති මරණය යි.

ක්ෂණික ජරාව

එක් නාම රූප ධර්මයක ජීවන කාලය ඉතා කෙටි කාලයකි. එම කාලය උත්පාදයස්ථිතියභංගය යනුවෙන් තෙවැදෑරුම් වේ. එම කාලය ඇසිපය හෙලන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් තරම් වත් දිග නැත. පෙර නොතිබුණා වූ නාමරූප ධර්මයක ඉපදීම, පහළ වීම එක්තරා (ශක්තියක් වැනි) වේගයකි. එයට උත්පාදය කියනු ලැබේ. එම වේගය ජරාවට පැමිණීමෙන් නවතී. වේගය නැවතී පවත්නා අවස්ථාවට ස්ථිතිය කියනු ලැබේ. ඉපදීමේ වේගය සන්සිඳෙනු සමග ම එය බිඳ වැටේ. එයට භංගය කියනු ලැබේ. ඉපදීමේ වේගය නවත්වා, උපන් ධර්මය බිඳ වැටීමට යොමු කර දෙන්නා වූ, සංස්කාරයන්ගේ මේරීම, පැසීම වූ ස්ථිතිය, ක්ෂණික ජරාව ය. එය නිසා සංස්කාරයන්ගේ බිඳ වැටීම, අතුරුදහන් වීම ක්ෂණික මරණය යි.

ජරා මරණයෙන් මෙම හේතු ඵල දහම කෙළවර නොවේ

ජාති පච්චයා ජරා මරණං යනුවෙන් පටිච්චසමුප්පාද දේශනය අවසන් කර තිබුණ ද, ජරා මරණයෙන් මෙම හේතු ඵල දහම කෙළවර වන බව ඉන් අදහස් නොවේ. අරහත් මාර්ග ඥානයෙන් අවිද්‍යා, තෘෂ්ණා දෙක ප්‍රහාණය වන තුරු, කාල නියමයක් නොමැති ව මෙම හේතු ඵල පරම්පරාව චක්‍රයක් ලෙස නොසිඳී පවතී.

පෘථග්ජන සත්ත්වයෙකු ඉපදුන විට, එම සන්තානයට අයත් ස්කන්ධයන් නිසා හා එම සන්තානයෙහි ඉන්ද්‍රියන්ට හමු වන අරමුණු නිසා ඒකාන්තයෙන් ම අවිද්‍යාව ඇති වේශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනාදිය අවිද්‍යාව හා බැඳී උපදින ධර්මයන් ය. එබැවින් එම ධර්ම 5 ඇති කල්හි අවිද්‍යාව ද ඇති බව දත යුතුය. එබැවින් මෙම දේශනයෙහි සඳහන් වූයේ නැතත්, ජාතිය නිසා අවිද්‍යාව හට ගනී. අවිද්‍යාව පවතින තාක් කර්ම රැස් කිරීම හේතුවෙන් නැවත ඉපදීම ඇති වී මෙම හේතු ඵල පරම්පරාව නොසිඳී පවතී. ජාති පච්චයා අවිජ්ජා යනුවෙන් තථාගතයන් වහන්සේ දේශනා නොකර ඇත්තේ ජාතිය නිසා ජරා මරණ ඇති වන බව දැක්වීම සඳහා ය.

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 85-95]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – භව පච්චයා ජාති

තත්ථ කතමා භව පච්චයා ජාති? යා තේසං තේසං සන්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතු භවෝ ආයතනානං පටිලාභෝ. අයං වුච්චති භව පච්චයා ජාති.

එහි ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්ව නිකායෙහි යම් පළමු කොට ඉපදීමක් වේ ද, සම්පූර්ණ ඉපදීමක් වේ ද, මවුකුස තුළට ඇතුළු වීමක් වේද, ප්‍රකට ව ඉපදීමක් වේ ද, ස්කන්ධයන්ගේ පහළ වීමක් වේ ද, ආයතනයන්ගේ පහළ වීම් වශයෙන් ලැබීමක් වේ ද, මෙය භව ප්‍රත්‍යයෙන් වන්නා වූ ජාතිය යි යනුවෙන් විභංග ප්‍රකරණයෙහි දක්වා තිබේ.

මෙහි කෙටි තේරුම නම්, ඒ ඒ භවයෙහි උපදිනා සත්ත්වයින්ගේ පළමු කොට ඉපදීම ජාතිය යනු යි. (පළමු කොට ඉපදීම යනු ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමග කාය දශක, භාව දශක හා වස්තු දශක යන රූප කලාප පහළ වීම ය. අරූප භූමියෙහි දී නාම ස්කන්ධ පමණක් පහළ වේ.) සංඛාර පච්චයා විඤ්ඤාණං යනුවෙන් සඳහන් වූයේ ද මෙම පළමු කොට ඉපදීම ය. (එම අවස්ථාවෙහි දි අදහස් වන්නේ වර්ථමාන භවයෙහි ප්‍රතිසන්ධිය ලැබීම ය. භව පච්චයා ජාති යන තැනදී අදහස් වන්නේ අනාගත භවයක ප්‍රතිසන්ධිය යි.)

භව ප්‍රත්‍යයෙන් හට ගන්නා මෙම ජාතිය උත්පත්ති භවයේ ම කොටසකි. එබැවින් ජාතියෙහි හේතුව වශයෙන් උත්පත්ති භවය නො ගත යුතු ය. භව දෙකෙන් ජාතියට හේතු වන්නේ කර්ම භවය පමණකි. එබැවින් මෙහි භව පච්චයා ජාති යන සන්ධියට අදාල වන්නේ කර්ම භවය පමණකි.

උපාදානයන් නිසා කුසල, අකුසල කර්ම කළ කල්හි, ඒ ඒ කර්මයන්ගේ ශක්තිය හා ස්වභාවය අනුව ඒ ඒ භවයන්හි සත්ත්වයා ඉපදීම ජාතිය නම් වේ. සත්ත්වයාගේ උත්පත්තියට පූර්ව භවයෙහි කළ කර්මය හේතු වන බව සමාන්‍ය ලොකයාට නොපෙනෙන ගුප්ත කරුණකි. එය සාමාන්‍යය ජනයාට සිතා ගත හැක්කේ අනුමානයෙනි.

සත්ත්ව උත්පත්තියට කර්මය හේතු වන බවට ඇති සාධක අතුරෙන් සත්ත්වයන්ගේ නානත්වය ප්‍රධාන කරුණකි. ගති ගුණ, ආයුෂ, ධනය, සැප දුක් යනාදියෙන් සත්ත්වයන් අතර බොහෝ වෙනස්කම් දක්නට ලැබේ. එකම දෙමවුපියන්ට, එකවර උපන්, එකම ගෙයක හැදුනු වැඩුනු දරුවන්ගේ පවා වෙනස්කම් බොහෝ තිබිය හැක. සත්ත්වයන් අතර ඇති මෙම වෙනස්කම් වලට ප්‍රධාන හේතුව කර්මය යි. සිත ඉතා විචිත්‍ර ය. එබැවින් කර්ම ද එසේ ම විචිත්‍ර ය. උත්පත්තියට හේතු වූ කර්මයේ විචිත්‍රත්වයෙන් සත්ත්වයින්ගේ විචිත්‍ර බව ඇති වේ.

කර්ම වල විවිධත්වය අනුව පුද්ගලයන්ගේ විවිධත්වය ඇති වන්නේ මෙසේ ය.

  • යම්කිසිවෙක් උත්පත්තියට හේතු වන කර්මයක් කරන අවස්ථාවේ දී ලෝභය, අද්වේශය (මෛත්‍රිය) හා අමෝහය (ප්‍රඥාව) බලවත් වේ ද, අලෝභය, ද්වේශය හා මෝහය දුබල වේ ද, ඒ කර්මයෙන් එම පුද්ගලයා යම්කිසි භවයක උපන් කල්හි ඔහු මෛත්‍රියෙන් යුක්ත, ක්‍රෝධ කිරීම අඩු වූ, තියුණු නුවණ ඇති, ලෝභය අධික පුද්ගලයෙකු වේ. එබඳු පුද්ගලයින් ධර්ම ශාස්ත්‍ර ඉගෙනීමෙහි දක්ෂ වෙති. එහෙත් ඔවුන් කිසිවෙකුට කිසිවක් නොදෙන, නිතර ම රැස් කිරීමට කැමති, අනුන්ගෙන් ගැනීමට උත්සහ කරන ලෝභීහු වෙති. මෙයට හේතුව උත්පත්තයට හේතු වන කර්මයෙහි බලවත් වූ ලෝභයෙන් අලෝභය මැඩ පවත්වන බැවිනි. එමෙන් ම, බලවත් වූ අද්වේශය හා අමෝහයෙන් ද්වේශය හා මෝහය යටපත් කරනුලැබේ.
  • යම්කිසි පුද්ගලයෙකුට කර්මය කරන අවස්ථාවෙහි ලෝභය, ද්වේශය, හා අමෝහය බලවත් වේ ද, ඔහු එම කර්මය හේතුවෙන් උපන් කල්හි ලෝභී වූ, කෘර වූ, තියුණු නුවණ ඇත්තා වූ පුද්ගලයෙක් වේ. එබඳු පුද්ගලයෝ ධර්ම ශාස්ත්‍ර ඉගෙන පණ්ඩිත වුව ද, එම කෘර, ලෝභ ගත වලින් යුක්ත වේ. ලාභයක් ලැබිය හැකි කල්හි කොතෙක් මහත් අපරාධයක් වුව ද කරන්නට මැලි නොවෙති.
  • යම්කිසි පුද්ගලයෙකුට කර්මය කරන අවස්ථාවෙහි ලෝභය, මෝහය හා අද්වේශය බලවත් වේ ද, ඔහු එම කර්මය හේතුවෙන් උපන් කල්හි ලෝභී වූ ද, මෝඩ වූ ද, මෘදු ගති ඇති පුද්ගලයෙකු වේ.
  • යම්කිසි පුද්ගලයෙකුට කර්මය කරන අවස්ථාවෙහි ලෝභය, ද්වේශය හා මෝහය යන අකුසල මූල 3ම බලවත් වේ ද, ඔහු එම කර්මය හේතුවෙන් උපන් කල්හි ලෝභී වූ ද, නපුරු වූ ද, මෝඩයෙක් වේ. ලෝකයෙහි වඩාත් ම අසත්පුරුෂ ගති වලින් යුක්ත වන්නේ එබඳු කර්ම වලින් උපන් පුද්ගලයින් ය.
  • යම්කිසි පුද්ගලයෙකුට කර්මය කරන අවස්ථාවෙහි අලෝභය, ද්වේශය හා මෝහය බලවත් වේ ද, ඔහු එම කර්මය හේතුවෙන් උපන් කල්හි දිව්‍යමය ආරම්මණයක් (ඉතා සිත් ගන්නා සුළු, ප්‍රිය මනාප දෙයක්?) දුටු කල්හි වුවත් කලබල නොවන, විකෘතියට නොපැමිණෙන, රාගය මද වූ, කිපෙන සුළු වූ, මෝඩ පුද්ගලයෙකු වේ.
  • යම්කිසි පුද්ගලයෙකුට කර්මය කරන අවස්ථාවෙහි අලෝභය, අද්වේශය හා මෝහය බලවත් වේ ද, ඔහු එම කර්මය හේතුවෙන් උපන් කල්හි දන් දෙන ස්වභාවය හා රැස් නොකරන ස්වභාවය ඇති, මෘදු වූ ද, නුවණ මද වූ ද පුද්ගලයෙකු වේ.
  • යම්කිසි පුද්ගලයෙකුට කර්මය කරන අවස්ථාවෙහි අලෝභය, ද්වේශය හා අමෝහය බලවත් වේ ද, ඔහු එම කර්මය හේතුවෙන් උපන් කල්හි නිර්ලෝභ වූ ද, කිපෙන සුළු වූ ද, නුවණැති පුද්ගලයෙකු වේ.
  • යම්කිසි පුද්ගලයෙකුට කර්මය කරන අවස්ථාවෙහි අලෝභය, අද්වේශය හා අමෝහය යන කුසල මූල 3ම බලවත් වේ ද, ඔහු එම කර්මය හේතුවෙන් උපන් කල්හි නිර්ලෝභ වූ ද, මෘදු වූ ද, තියුණු නුවණ ඇත්තා වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වේ. එබඳු පුද්හලයින් ලෝකයේ දුර්ලභ ය.

තවත් නොයෙක් ආකාරයෙන් සත්ත්වයින් කර්ම අනුව බෙදෙන සැටි චූලකම්ම විභංග සූත්‍රය වැනි සූත්‍ර වල දක්වා තිබේ.

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 82-85]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – උපාදාන පච්චයා භවෝ

තත්ථ කතමෝ උපාදාන පච්චයා භවෝ? භවෝ දුවිධේන. අත්ථි කම්ම භවෝ. අත්ථි උපපත්ති භවෝ. තත්ථ කතමෝ කම්ම භවෝ? පුඤ්ඤාභි සංඛාරෝ, අපුඤ්ඤාභි සංඛාරෝ, අනෙඤ්ජාභි සංඛාරෝ. අයං වුව්චති කම්ම භවෝ. සබ්බම්පි භවගාමි කම්මං කම්ම භවෝ. තත්ථ කතමෝ උපපත්ති භවෝ? කාම භවෝ, රූප භවෝ, අරූපභවෝ. සඤ්ඤා භවෝ, අසඤ්ඤා භවෝ, නේවසඤ්ඤානාසඤ්ඤා භවෝ. ඒකවෝකාර භවෝ, චතුවෝකාර භවෝ, පඤ්චවොකාර භවෝ. අයං වුච්චති උපපත්ති භවෝ. අයං වුච්චති උපාදාන පච්චයා භවෝ

උපාදාන හේතුවෙන් හට ගන්නා භවය කවරේ ද? භවය දෙපරිද්දකින් දත යුතු ය. කර්ම භවයක් ඇත. උත්පත්ති භවයක් ද ඇත. එහි කර්ම භවය කවරේ ද? පුණ්‍යාභි සංස්කාරය, අපුණ්‍යාභි සංස්කාරය, ආනෙඤ්ජාභි සංස්කාරය යන මෙය කර්ම භවය කියනු ලැබේ. සකල භවගාමීකර්මය කර්ම භවය ය. එහි උත්පත්ති භවය කවරේ ද? කාම භවය, රූප භවය, අරූප භවය. සංඥා භවය, අසංඥා භවය, නේවසංඥානාසංඥා භවය. ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පඤ්චවොකාර භවය යන මෙය උත්පත්ති භවය කියනු ලැබේ. මෙය උපාදාන හේතුවෙන් හට ගන්නා භවය යි යනුවෙන් විභංග පාළියෙහි දක්වා ඇත.

සත්ත්ව සන්තාන වල ඇති වන උපාදානයන් වැඩීමෙන් භවය ඇති වේ. දශ ප්‍රභේද වූ අකුසලය, දශ ප්‍රභේද වූ ලෞකික කුසලය යන පින්පව් දෙකට කර්ම භවය කියනු ලැබේ. එම රැස් කර ගත් කර්ම විපාක බවට පැමිණීමෙන් ලැබෙන්නා වූ නාමරූප ස්කන්ධයන්ට උත්පත්ති භවය කියනු ලැබේ.

උත්පත්ති භවය

උත්පත්ති භවය ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට විස්තර කළ හැක. ඒ ආකාර තුනෙහි ද ප්‍රභේද තුන බැගින් ගත් විට භව 9ක් ඇත.

ලෝකයේ ඇති 31 භූමි තලයන්ට අනුව භවයන් මෙසේ වෙන් කළ හැක:

  • කාම භව – අපාය 4, මිනිස් ලොව, දෙව් ලොව 6 යන එකොළොස් භූමියෙහි උපදින සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්
  • රූප භව – රූප භූමි 16හි උපදිනා සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්
  • අරූප භව – අරූප තල 4හි හැසිරෙන සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්

සංඥාව ලැබෙන ආකාරය අනුව භවයන් මෙසේ වෙන් කළ හැක:

  • සංඥා භව – කාම භූමි 11, අසංඥ භූමිය හැර ඉතිරි රූපාවචර බ්‍රහ්ම ලෝක 15, නේවසඤ්ඤානාසඤ්ඤාව හැට ඉතිරි අරූපාවචර බ්‍රහ්ම ලෝක 3 යන භූමි 29හි උපදිනා සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්
  • අසංඥා භව – අසංඥ භූමියෙහි උපදිනා සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්
  • නේවසංඥානාසංඥා භව – භවාග්‍රය නම් වූ ඉහළ ම අරූප භුමියෙහි උපදිනා සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්

වෝකාර යනු ස්කන්ධයන්ට ම නමකි. ලැබෙන ස්කන්ධයන් අනුව භවයන් මෙසේ වෙන් කළ හැක:

  • ඒකවෝකාර භව – රූප ස්කන්ධය පමණක් ලැබෙන අසංඥ භුමියෙහි උපදිනා සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්
  • චතුවෝකාර භව – නාම ස්කන්ධ පමණක් (වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ) ලැබෙන අරූප ලෝක 4හි උපදිනා සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්
  • පඤ්චවොකාර භව – පංචස්කන්ධය ලැබෙන ඉතිරි භූමි 26හි උපදිනා සත්ත්වයින්ගේ උපාදින්න ස්කන්ධයන්

සත්ත්ව සන්තානයක කර්මයෙන් හට ගත් (කර්මජ) ස්කන්ධයන්ට උපාදින්න ස්කන්ධ යැයි කියනු ලැබේ. උපාදාන පච්චයා භවෝ යනුවෙන් මෙහි ගනු ලබන්නේ කර්මයෙන් හට ගත් ස්කන්ධයන් ය.

කර්ම භවය

ඉහත දැක්වුනු පරිදි කර්ම භවය අකුසල කර්ම භවය හා කුසල කර්ම භවය වශයෙන් දෙවැදෑරුම් වේ. රූප තෘෂ්ණා, ශබ්ද තෘෂ්ණා ආදී වශයෙන් තෘෂ්ණාව සවැදෑරුම් වන්නා සේ ම කාම උපාදානය ද රූප කාම උපාදානය, ශබ්ද කාම උපාදානය ආදී වශයෙන් සවැදෑරුම් වේ.

මිනිසුන් රසයට ඇති කැමැත්ත නිසා සතුන් මරති. සමහරු අඹු දරුවන් රැකීම සඳහා සතුන් මරති. මෙසේ කාම උපාදනය නිසා ඔවුන් ප්‍රාණඝාත අකුසල කර්ම රැස් කර ගනී. ඇතැම් මිත්‍යාදෘෂ්ටිකයන් දෙවියන් සතුටු කොට දෙව්ලොව යෑමේ බලාපොරොත්තුවෙන් හෝ දෙවියන් පිදීම සඳහා සතුන් මරති. මේ දිට්ඨි උපාදනය නිසා ප්‍රාණඝාත කර්මය සිදු වන සැටි ය. ඇතැම්හු තම ආත්මය රැක ගැනීම හෝ කල් පැවැත්ම උදෙසා සතුන් මරති. අඹු දරුවන්ගේ කල් පැවැත්ම සඳහා ද සතුන් මරති. මේ අත්තවාද උපාදානය නිසා ප්‍රාණඝාත අකුසලය සිදු වන ආකරය යි.

මේ ආකාරයෙන් අනිත් අකුසල කර්මයන් ද උපාදානය නිසා රැස් වන ආකාරය සළකා ගත යුතු ය. මෙහිදී කාමමිථ්‍යාචාරය හා අභිද්‍යාව කාම උපාදනය නිසා සදු වන බව ද, මිථ්‍යාදෘෂ්ටි කර්මය දිට්ඨි උපාදාන 3 නිසා සිදු වන බව ද විශේෂයෙන් සැළකිය යුතු ය.

දෙලොව කාමයන් ලබනු පිණිස, සැප ලබනු පිණිස සමහරුන් දාන, සීල, භාවනා යනාදී කුසල ක්‍රියා වල යෙදෙති. ඒ කාම උපාදනය නිසා කුසල කර්මයන් රැස් වන ආකාරය යි. සමහරුන් දෙවියන් සතුට කරවීම සඳහා දාන, සීල, භාවනා ආදී පින්කම් වල යෙදෙති. ඒ දිට්ඨි උපාදනය නිසා කුසල කර්ම රැස් වන ආකාරය යි. සමහරුන් දීර්ඝායු ඇති, සැපයෙන්, වර්ණයෙන්, බලයෙන් යුක්ත ආත්ම භාවයන් ලැබීම සඳහා දාන, සීල, භාවනා ආදී පින්කම් වල යෙදීති. ඒ අත්තවාද උපාදනය නිසා කුසල කර්ම රැස් වන ආකාරය යි.

පෘථග්ජන පුදගලයා පිස්සෙකු වැනි ය. එබැවින් ඔහු මෙම උපාදානයන් සතර ම නිසා ඉහත සඳහන් ආකාරයට කුසල අකුසල කර්ම රැස් කර ගනී. එනම්, උපාදානයන් නිසා කුසල කර්ම භව හා අකුසල කර්ම භව සකස් කර ගනී.

කර්ම භවය නිසා උත්පත්ති භවය ඇති වීම

කුඹුරක හට ගන්නා වී වලින් කොටසක් බොල් වේ. කොටසක් මතු ගොයම් ඇති කරීමේ ශක්තිය ඇති බීජ බවට පත් වේ. එමෙන් ම උපාදානයන් නිසා හට ගන්නා කර්මයන්ගෙන් සමහරක් මතු උත්පත්තයක් ඇති කිරීමේ සමත් බවක් නැති, දුබල කර්මයන් ය. මේවාට කර්ම කියනු ලැබේ. අනාගතයෙහි සත්ත්වයා ඒ ඒ භවයට පැමිණ වීමේ ශක්තියෙන් යුක්ත බලවත් කර්මයන් කර්මපථ නමින් හැඳින් වේ. දුබල කර්මයන් අභාවප්‍රාප්ත වේ. බලවත් කර්මයන් අනාගතයෙහි විපාක බවට පැමිණීම් වශයෙන් සත්ත්වයින් ඒ ඒ භවයට පමුණුවති. මෙසේ උපාදාන හේතුවෙන් ඇති වන කර්ම භවය නිසා නව වැදෑරුම් උත්පත්ති භවය ඇති වේ.

කර්ම භවය හා උත්පත්ති භවය යන දෙකම සැළකීම

කර්ම භවය හේතුවෙන් උත්පත්ති භවය හට ගන්නේ නම්, උපාදාන පච්චයා භවෝ යන්නෙහි උත්පත්ති භවය හා කර්ම භවය යන දෙකම සැළකීමට හේතුව කුමක් ද? යන ප්‍රශ්නය මෙතැන දී ඇති විය හැක. උත්පත්ති භවය හට ගැනීමට කර්මය හේතුවක් වුව ද, එය ඇති වීමේ මූලික හේතුව උපාදානය යි.  එබැවින් උපාදානය නසා කර්ම භව හා උත්පත්ති භව යන දෙකම ඇති වන බව වදාරා ඇත.

ක්ලේශය යනු සත්ත්ව සන්තාන දවන්නා වූ, තවන්නා වූ ස්වභාවයකි. ක්ලේශයන් නිසා සිදු වන එම දැවීම, තැවීම සන්සිඳවා ගැනීම සඳහා උපකාර වන ක්ලේශ ආහාර කොටසක් ඇත. උපාදානය ද ක්ලේශයකිකාම උපාදානය යනු රූප ශබ්ද ආදී කාම වස්තූන් පැතීම ය. එම දැවීම, තැවීම නො ඉවසිය හැකි සත්ත්වයා එය නිවා ගනු පිණිස කාම වස්තූන් සොයන්නේ ය. එම කාම වස්තූන්, කාම උපාදානයේ ආහාරය යි. එම කාම වස්තු හා භව සම්පත්තිය ලබා ගැනීමට දරන උත්සාහය කර්ම භවය යි. එනම් භවගාමී කර්ම රැස් කිරීම ය. අත්තවාද උපාදානය භව සම්පත්තිය පිළබඳ වූවකි. එම අත්තවාද උපාදාන ගින්නට ආහාරය නම් භව සම්පත්තිය යි. එනම් උත්පත්ති භවය යි. මෙසේ උපාදන ගින්නෙන් දැවෙන, තැවෙන සත්ත්වයා සොයන, පතන දෙය නම් කාම වස්තු හා භව සම්පත්තිය යි. එබැවින් කර්ම භවයට හා උත්පත්ති භවය යන දෙකට ම ප්‍රධාන හේතුව උපාදානය ලෙස සැළකිය යුතු ය.

පටිච්ච සමුප්පාදයෙහි දෙතැනක කර්මය දේශනා කර තිබීම

අවිජ්ජා පච්චයා සංඛාරා යනුවෙන් වරක් දක්වා තිබෙන කර්මය ම නැවත උපාදාන පච්චයා භවෝ යනුවෙන් දක්වා තිබෙන්නේ කුමක් නිසා ද? යනු මෙහි ඇති විය හැකි තවත් ප්‍රශ්නයකි. මෙම පටිච්චසමුප්පාද දේශනය ජාති 3ක් සම්බන්ධයෙන් දේශනා කරන ලද්දකි. අවිජ්ජා පච්චයා සංඛාරා යන තැන දී දක්වන ලද කර්මය අතීත ජාතියට අයත් වූ, වර්තමාන භවයට හේතු වූ කර්මය යි. උපාදාන පච්චයා භවෝ යනුවෙන් දැක්වෙන කර්ම වර්තමාන භවයට අයත් වූ, අනාගත භවයට හේතු වන කර්ම ය. එබැවින්, අතීත භවයෙන් වර්තමාන භවයට පැමිණීම හා වර්තමාන භවයෙන් අනාගත භවයට යෑම දක්වීමට මෙම දේශනයෙහි දෙතැනක කර්මය දක්වා ඇත.

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 75-81]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – තණ්හා පච්චයා උපාදානං

තත්ථ කතමං තණ්හා පච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨූපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං. ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං.

කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන සතර තෘෂ්ණාව හේතුවෙන් හට ගන්නා උපාදානය ලෙස දක්වා තිබේ.

ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. යමක් ලෙහෙසියෙන් අත් නොහරින පරිද්දෙන්, තදින් ගැනීමට උපාදානය කියනු ලැබේ. මෙහි දී උපාදානය කියනුයේ චිත්ත සන්තානයක හට ගන්නා යම් ධර්මයක් විසින් අරමුණක් තදින් ගැනීමට ය. එනම්, අරමුණ එසේ තදින් ගන්නා චෛතසික ධර්මයන්ට ය. උපාදාන සතරක් ඇතත්, පරමාර්ථ වශයෙන් ගත් කළ එයට අයත් වන්නේ ලෝභය හා දිට්ඨිය යන චෛතසික දෙක ය. කාම උපාදානය සිදු වන්නේ ලෝභ චෛතසිකයෙනි. ඉතිරි උපාදානයන් සිදු වන්නේ දිට්ඨි චෛතසිකයෙනි.

කාම උපාදානය

කාම උපාදාය යනු ප්‍රිය වස්තූන් හෝ පුද්ගලයින් කෙරෙහි තදින් ඇලෙන්නා වූ, දුරු කිරීමට පහසු නොවූ, නැවත නැවත ඇති වීමෙන්, කල් පැවතීමෙන් වැඩුනා වූ ලෝභය යි. 

ඇටයකින් හට ගත් පැළයක් මුල් අවස්ථාවේ ඉතා දුබල ය. එය පහසුවෙන් නැසිය හැක. එහෙත් එම පැළයට අවශ්‍ය පෝෂණය හා අනෙකුත් ප්‍රත්‍යයන් ලද කල්හි එය වැඩී, විශාල ගසක් බවට පත් වේ. එවිට එය නැසීම තබා සෙලවීම පවා අපහසු ය. එමෙන් ම, යම්කිසි අරමුණක ප්‍රථම කොට උපදිනා තෘෂ්ණාව දුබල ය. දුරු කිරීම උත්සහ කළහොත් පහසුවෙන් දුරු කළ හැක. එහෙත් එය මුල දීම දුරු නොකොට, එම අරමුණෙහි නැවත නැවත ඉපදී, පරණ වූ විට, කුඩා පැළයක් විශාල ගසක් බවට පත් වූවා මෙන්, ලෙහෙසියෙන් නොනැසෙන, දුරළීමට අතිශයින් දුෂ්කර වූ බලවත් තෘෂ්ණාවක් බවට පත් වේ. කාම උපාදානය කියනුයේ එසේ බලවත් වූ තෘෂ්ණාවට ය.

උපාදානයට පැමිණි තෘෂ්ණාව දුරු කර වීම බුදුවරයෙකුට පවා දුෂ්කර ය. නන්ද කුමරුන්ගේ තෘෂ්ණාව හා ශාක්‍ය-කෝලිය කුමාර වරුන්ගේ තෘෂ්ණාව දුරු කරවීමට තථාගතයන් වහන්සේට බොහෝ වෙහෙසෙන්නට සිදු වූයේ එහෙයිනි. වැඩුණු තෘෂ්ණාව හා නොවැඩුණු තෘෂ්ණාව එකම චෛතසික ධර්මයක් වුව ද, එකිනෙකට ඉතා වෙනස් ය. යම්කිසි අරමුණක නැවත නැවත තෘෂ්ණාව ඉපදුන හොත් එය වැඩී බලවත් වීම ඒකාන්තයෙන් ම සිදු වන්නකි.

වේදනා පච්චයා තණ්හා යනුවෙන් අදහස් වන්නේ රූප ආදී විවිධ අරමුණු සම්බන්ධයෙන් උපදිනා වේදනාව ප්‍රත්‍යයෙන් හට ගත් නොවැඩුණු, දුබල තණ්හාව ය. තණ්හා පච්චයා උපාදානං යනුවෙන් අදහස් වන්නේ එම දුබල තණ්හාව හේතුවෙන් හට ගත් බලවත් වූ තණ්හාව ය. එය හට ගන්නේ දුබල තණ්හාව ඉපදුන හොත් පමණි. තණ්හාව නිසා උපාදානය වන බව වදාළා ඇත්තේ එබැවිනි.

අත්තවාද උපාදානය

දැකීමට, දැනීමට, පිළිගැනීමට දිට්ඨිය කියනු ලැබේ. එය සම්මාදිට්ඨි, මිචඡාදිට්ඨි වශයෙන් දෙවැදෑරුම් වේ. යම්කිසි දෙයක ඇත්ත ස්වභාවය නිවැරදි ව දැකීම සම්මාදිට්ඨිය නම් වේ. යම්කිසි දෙයක ඇත්ත ස්වභාවය වැරදි ලෙස ගැනීම මිචඡාදිට්ඨිය නම් වේ. අකුසල ධර්මයන් විස්තර කිරීමේ දී සමහර අවස්ථාවන්හි දී මිචඡාදිට්ඨිය හැඳින් වීමට දිට්ඨිය යන වචනය පමණක් යොදා ගනු ලැබේ. දිට්ඨි උපාදානය ද එබඳු තැනකි.

වැරදි දැකීම නිසා පංචස්කන්ධය සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් වශයෙන් ගැනීම අත්තවාද උපාදානය යි. වෙනත් ආකාරයෙන් කිව හොත්, මම කියා සැප දුක් විඳින, සිත කය දෙකට අධිපතිකම් පවත්වන දෙයක් (ආත්මයක්) ඇති සැටියට තදින් පිළිගැනීම ය. ලෝකයා විසින් ආත්මය කියනු ලබන්නේ එයට ය. එම දෘෂ්ටිය තම තමන්ගේ පංචස්කන්ධය පිළබඳ ව පමණක් නොව, අනුන්ගේ පංචස්කන්ධය ද පිළබඳ ව හට ගනී. ආත්මය මම, නුඹ කියා කොතෙක් උසස් කොට ගත්තත්, එය මිනිසුන්ගේ සිත් වල පවතින කල්පනා මාත්‍රයක් මිස, සත්‍ය වශයෙන් ඇති දෙයක් නොවේ. එය සත්‍යය වශයෙන් නැති දෙයක් බව වටහා ගැනීමට අපහසු වී ඇත්තේ ආත්මයක් ඇත යන හැඟීම උපාදානයක් වී තිබෙන හෙයිනි.

ආත්මය සත්‍ය වශයෙන් නොලැබෙන දෙයක් බව දත හැකි වනුයේ සත්ත්වයින්, පුදගලයින් සේ පෙනෙන නාම රූප ධර්ම මැනවින් බෙදා ඒවා ඇති වන සැටි, නැති වන සැටි බැලීමෙන් ය. ගඟක් ඇති සටියට ලෝකයා සළකති. ගඟ යනු කුමක් ද? ජලය ගඟ නම්, කළයේ වතුර ද ගඟ විය යුතු ය. ජලය ගලා යන බිම ගඟ නම්, ජලය නැති කල්හි ද එම බිම ගඟ විය යුත ය. එගොඩ ඉවුර, මෙගොඩ ඉවුර ගඟ යැයි කිව හොත් ජලය නැති බිමත් ගඟ විය යුතු ය. එබැවින් ගඟ ලෙස හඳුන් වන්නේ ගලා යන ජලයත්, බිමත්, ඉවුරු දෙකත් යන සියල්ලම එකට ගත් කල ලැබෙන දෙයට ය. ඒවා වෙන් වෙන් වශයෙන් ගත් කළ ගඟ කියා දෙයක් නැත. එබැවින් ගඟ කියන දෙය සැබවින් ම ඇත්තේ මිනිසුන්ගේ සිතෙහි ය. ගඟ මෙන්ම මම, නුඹ කියන දෙයත් සත්‍යය වශයෙන් ලැබෙන දෙයක් නොවේ. ආත්ම වශයෙන් සළකන නාමරූප ධර්ම සමූහය බෙදා බලන කල්හි, සත්ත්වයෙක් කියා සැළකීමට දෙයක් නැති වන්නේ ය. එය අතුරුදහන් වන්නේ ය. එම ධර්මයන්හි ඉපදීම බිඳීම පරීක්ෂා කර බැලීමේ දී මෙය වඩාත් පැහැදිලි වන්නේ ය.

බැලීම, ඇසීම ආදී ක්‍රියා සිදු කරන පුද්ගලයෙකු, කර්තෘ කෙනෙක් ඇත, එම කර්තෘ ආත්මය බව බොහෝ දෙනාගේ හැඟීම ය. ඒ හැඟීම ඇති වන්නේ බැලීම, ඇසීම ආදී ක්‍රියා සිදු වන ආකාරය නොදැනීම නිසා ය. බෙරයකට අතින් ගසන විට, එම ගැසීමට අනුව හඬක් නැගේ. එම අවස්ථාවෙහි, ගැසිය හැකි බව මිස, හඬ නංවන ශක්තියක් අතට නැත. පහර ඉසිලීමේ හැකියාවක් මිස හඬ නැගිය හැකි ශක්තියක් හෝ හඬ නැගීමේ අදහසක් බෙරයෙහි නැත. බෙරයත් අතත් ගැටීම හේතුවෙන් හඬ හට ගනී. එමෙන් ම ඇසෙහි රූප ඡායා ගැටුණ කල්හි, එය හේතුවෙන් ගැටුණු රූපයාගේ ආකාරය දැන ගන්නා විඤ්ඤාණයක් පහළ වේ. පෙනීම කියනුයේ ඒ විඤ්ඤාණය පහළ වීමට ය. බෙර හඬ එකෙනෙහි නැති වන්නාක් මෙන් දැකීම නම් වූ ඒ විඤ්ඤාණය එකෙනෙහි ම නිරුද්ධ වේ.

ඇසට බැලීමේ අදහසක් හෝ බැලිය හැකි ශක්තියක් නැත. දැකීම නැමති විඤ්ඤාණයට තනිව ඉපදිය හැකි ශක්තියක් නැත. ඇසෙහි රූප නොගැටුණ හොත් එය නූපදී. එය ඇසත් රූපයත් ගැටීම හේතුවෙන් ඉබේ ම සිදු වන ක්‍රියාවකි. මෙය නොදැනීම නිසා මම බලමි, මම දකිමි යන හැඟීම ඇති වේ. දක්නා විඤ්ඤාණය පහළ වනුයේ ද, ගැටීම සිදු වන සැටියට ය. උදාහරණයක් වශයෙන්, ආලෝකය මඳ වුව හොත් දුබල විඤ්ඤාණයක් උපදී. දුර පිහිටි වස්තුවක් ඇසෙහි ගැටීමෙන් ද උපදින්නේ දුබල විඤ්ඤාණයක් ය. එබැවින් දැකීම සිදු වන්නේ චක්ඛු ප්‍රසාදයෙහි ශක්තිය හා රූපය ඇසෙහි ගැටෙන ආකාරය අනුව ය. එය ප්‍රත්‍යයන් අනුව සිදු වන ක්‍රියාවකි. මෙය පාලනය කිරීමට, එයට අධිපතිකම් පැවැත් වීමට නොහැක. තමාට කැමති විට, කැමති ආකාරයට විඤ්ඤාණය ඉපද වීමට කිසිවෙකුට නොහැක. එබැවින් සත්‍ය වශයෙන් ම ආත්මය කියා දෙයක් නැති බව දත යුතු ය. ආත්මයක් ඇති සැටියට ගැනීම මිත්‍යා දෘෂ්ටියකි. එසේ දැඩි වූ ආත්ම දෘෂ්ටිය අත්තවාද උපාදානය යි.

මම, ආත්මය ආදී වශයෙන් දෘෂ්ටියක් ඇති වන්නේ පංචස්කන්ධය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ය. එබැවින් මෙම පටිච්චසමුප්පාද දේශනයෙහි තෘෂ්ණාව නිසා අත්තවාද උපාදානය වන බව වදාළ සේක. දෘෂ්ටීන් අතුරෙන් ප්‍රධාන කොට සැලකිය යුතු දෘෂ්ටිය මෙම අත්තවාද උපාදානය නම් වූ සත්කාය දෘෂ්ටිය යි. එය නැති කළ හොත් අනෙකුත් දෘෂ්ටි සියල්ල ම දුරු වන්නේ ය. හැම දෘෂ්ටියක් ම නැග එන්නේ මෙම ස්වකාය දෘෂ්ටියේ ශාඛාවක් වශයෙනි.

සීලබ්බත උපාදානය

ඇතැම් අබෞද්ධයන්, අළුත් පව් කිරීම නවත්වා, මෙතෙක් කළ පව් දුක් විඳීමෙන් ගෙවා අවසන් කොට ශුද්ධියට පැමිණිය හැකි යැයි දෘෂටියක එල්බ සිටියහ. එය සඳහා සමහරුන් අනුගමනය කළ මග නම් තිරිසන් සතුන් සේ හැසිරීමේ ය. ගවයාගේ හැසිරීම් රටාවට, චාරිත්‍ර වලට ගෝශීල කියනු ලැබේ. එනම් සතර පයින් යාම, බිම හිඳීම, බිම නිදීම, බිම ඇති දෙයක් මුවින් කෑම යනාදිය යි. මෙම චාරිත්‍ර සමාදන් වී අනුගමනය කරන්න්ගේ ප්‍රතිපත්තියට ගෝව්‍රත කියනු ලැබේ. බල්ලාගේ චාරිත්‍රය කුක්කුරශීල නම් වේ. එය සමාදන් වූවන්ගේ ප්‍රතිපත්තියට කුක්කුරව්‍රත කියනු ලැබේ. බොහෝ දුක් ගෙන මෙම ව්‍රතයන් රැකීමෙන් වුව ද ඔවුන් බලාපොරොත්තු වන ශුද්ධිය හෝ දේවත්වය, බ්‍රහ්මත්වය කිසි කලෙක ලැබිය නොහැක. එයින් ලැබිය හැක්කේ තිරසින් යෝනියේ හෝ නිරයෙහි උත්පත්තියක් පමණක් බව මජ්ඣිම නිකායේ කුක්කුරවතිය සූත්‍රයෙහි දක්වා තිබේ.

මෙසේ ව්‍රත අනුගමනය කිරීමෙන් ශුද්ධියක් ලැබිය හැකිය යන වැරදි හැඟීම පරම සත්‍යයක් කොට සළකා, තිදින් ගන්නා වූ මිත්‍යාදෘෂ්ටියට සීලබ්බත උපාදානය කියනු ලැබේ. මෙම දෘෂ්ටිය ඇති වනුයේ පංචස්කන්ධයට ඇළුම් කොට, එය ආත්ම වශයෙන් ගෙන, එම ආත්මය සැපයෙන් යුක්ත කිරීමේ මිත්‍යාදෘෂ්ටික ක්‍රම අනුගමනය කරන්නන්ට ය. තෘෂ්ණාව නිසා සීලබ්බත උපාදාය වන බව වදාරා ඇත්තේ එබැවිනි.

දිට්ඨි උපාදානය

ලෝකයේ බොහෝ දෘෂ්ටි ඇත. බ්‍රහ්මජාල සූත්‍රයෙහි දෘෂ්ටි 62ක් දක්වා තිබේ. අත්තවාද උපාදානයට හා සීලබ්බත උපාදානයට අයත්වන දෘෂ්ටීන් හැර ඉතිරි සියළු දෘෂ්ටීන් දිට්ඨි උපාදානයට අයත් වේ. මෙහිදී දිට්ඨි උපාදාන ලෙස සැලකෙන්නේ මෙම දෘෂ්ටීන් පරම සත්‍යය ලෙස දැඩි කොට පිළිගන්නා විට ය. එසේ දැඩි කොට ගැනීමක් රහිත ව පවතින වැරදි හැඟීම්, දෘෂ්ටීන් වුවද උපාදාන සංඛ්‍යාවට නොගැනේ.

දිට්ඨි උපාදානය දැක්වීමේ දී මිත්‍යාදෘෂ්ටි 10ක් සඳහන් කර තබේ. ඒවා නම්,

  • දීමෙන් ඵලයක් නැත.
  • මහා දාන, මහා පූජාවන්ගෙන් ඵලයක් නැත.
  • ප්‍රතිග්‍රාහකයා කැඳවා දෙන දානය, පැමිණියා වූ ආගන්තුකයින්ට දෙන දානය, ආවාහ විවාහ ආදියෙහි මංගලය පිණිස දෙන දානය යනාදියෙහි ඵලයක් නැත.
  • දස කුසලය, දස අකුසලය යන හොඳ නරක දෙකෙන් වන විපාකයක් නැත.
  • පරලොව සිට නැවත මෙලොව පැමිණීමක් නැත.
  • මෙලොව සිට පරලොව යෑමක් නැත.
  • මවට කරන හොඳ නරක දෙකෙහි විපාකයක් නැත.
  • පියාට කරන හොඳ නරක දෙකෙහි විපාකයක් නැත.
  • ඕපපාතික සත්ත්වයින් නැත.
  • යම්කිසි ප්‍රතිපත්තියක ආනුභාවයෙන් සියල්ල ම දැන ප්‍රකාශ කරන ශ්‍රමණබ්‍රහ්මණයෙක් නැත.

මෙම දෘෂ්ටි සියල්ල ම ඇති වන්නේ පංචස්කන්ධයට ඇළුම් කොට, එය සැපවත් කිරීමේ මිත්‍යාදෘෂ්ටික ක්‍රම පිළිගනීමෙන් ය. එබැවින් තණ්හාව නිසා දිට්ඨූපාදානය ඇති වන බව තථාගතයින් වහන්සේ වදාළා ඇත.

උපාදාන සතර අතුරෙන් කාම උපාදානය හා අත්තවාද උපාදානය බෞද්ධ, අබෞද්ධ සයළු දෙනාට ම ඇති වන්නේ ය. දිට්ඨි උපාදානය හා සීලබ්බත උපාදානය ඇති වනුයේ අබෞද්ධයන්ට පමණකි.

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 67-75]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – වේදනා පච්චයා තණ්හා

තත්ථ කතමා වේදනා පච්චයා තණ්හා? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා. අයං වුච්චති වේදනා පච්චයා තණ්හා 

රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්ප්‍රෂටව්‍ය තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව යනාදිය වේදනාව ප්‍රත්‍යයෙන් හට ගන්නා තෘෂ්ණාව ලෙස විභංග පාළියෙහි දක්වා ඇත.

සසර සැරිසරන සත්ත්වයින් විසින් ඉතා උසස් කොට සළකනු ලබන දෙය සුඛ වේදනා, සෝමනස්ස වේදනා කියනු ලබන සැපය යි. ඔවුන් සසර කලකරීමෙන් වළක්වන්නේ අතරින් පතර ඇති වන්නා වූ, කල් නොපවතින්නා වූ, එම කුඩා සැපය යි. එය සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. නොගන්නා දුකක් නැත. එම සැප ලබා ගැනීමට උපකාර වන විවිධ පුදගලයින් (අඹු, දරු, නෑදෑ, හිත මිතුරන්) හා වස්තූන් (ආහාර පාන, මිල මුදල්, වාසස්ථාන) ද ඔවුන් විසින් ඉතා උසස් කොට සළකනු ලැබේ.

සත්ත්වයින් විසින් ඉතා නපුරු කොට සළකන, බිය වන දෙය නම් දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා කියනු ලබන දුක ය. සත්ත්වයින් විසින් කරන සියල්ල ම කරනුයේ සැප ලැබීම, දුක දුරු කර ගැනීම යන කරුණු දෙක සඳහා ය.

පෘථග්ජනයින් හට ඉෂ්ට අරමුණු ස්පර්ශයෙන් හට ගන්නා වූ සැප වේදනාව පිළිබඳව තෘෂ්ණාව ඇති වේ. අනිෂ්ට අරමුණු ස්පර්ශයෙන් දුක වේදනාවක් හට ගත් විට, එයින් මිදීමේ බලාපොරොත්තුවෙන්, එම දුක වේදනාවෙහි නැති වීම පිළබඳව තෘෂ්ණාව ඇති වේ. උපේක්ෂා වේදනාවක් හට ගත් විට, එයත් සැපයක් කොට සළකා එය පිළිබඳවත් තෘෂ්ණාව ඇති වේ. මෙසේ ත්‍රිවිධ වේදනාව සම්බන්ධයෙන් ම තෘෂ්ණාව උපදින බැවින් තථාගතයන් වහන්සේ විසින් වේදනා පච්චයා තණ්හා යැයි වදාළ සේක.

රූප රසය, ශබ්ද රසය, ගන්ධ රසය, රස රසය, ස්ප්‍රෂ්ටව්‍ය රසය, ධර්ම රසය ආදී නොයෙක් අරමුණු වල රසය ස්පර්ශ වීමෙන් වේදනාව ඇති වේ. මෙම නනාවිධ වේදනා සම්බන්ධයෙන් තෘෂ්ණාව බලවත් ලෙස වරක් හට ගත් විට එය මහා තෘෂ්ණා ස්කන්ධයක් බවට පත් වේ. එම වේදනාවට හේතු වන වස්තු හා එයට අදාල කරුණු සම්බන්ධයෙන් බොහෝ ඇල්ම ඇති වේ. එම වස්තූන් අයත් කර ගැනීමට හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඇල්ම ඇති වේ. නැවත නැවත වේදනාව විඳීම සම්බන්ධයෙන් ඇල්ම ඇති වේ. මෙසේ එම තෘෂ්ණාව පරම්පරා වශයෙන් පැවතෙමින් තෘෂ්ණා ස්කන්ධයක් බවට පත් වේ. එම තෘෂ්ණා සක්න්ධයෙන් එම සත්ත්වයා දීර්ඝ කාලයක් දවනු, තවනු ලැබේ. මෙම සවැදෑරුම් තෘෂ්ණාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තෙවැදෑරුම් වේ. 

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 61-67]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – ඵස්ස පච්චයා වේදනා

තත්ථ කතමා ඵස්ස පච්චයා වේදනා? චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝත සම්ඵස්සජා වේදනා, ඝාණ සම්ඵස්සජා වේදනා, ජිව්හා සම්ඵස්සජා වේදනා, කාය සම්ඵස්සජා වේදනා, මනෝ සම්ඵස්සජා වේදනා. අයං චුච්චති ඵස්ස පච්චයා වේදනා.

මෙම විභංග පාඨයෙන් දැක්වෙන පරිදි, චක්ඛු සම්ඵස්සජා වේදනා, සෝත සම්ඵස්සජා වේදනා, ඝාණ සම්ඵස්සජා වේදනා, ජිව්හා සම්ඵස්සජා වේදනා, කාය සම්ඵස්සජා වේදනා හා මනෝ සම්ඵස්සජා වේදනා යනාදිය ස්පර්ශය නිසා හට ගන්නා වේදනා ය. රස විඳීමේ ආකාරය අනුව වෙදනාව සුඛ වේදනා, දුඛ වේදනා හා උපේක්ෂා වේදනා යනුවෙන් තෙවැදෑරුම් වේ.

විඤ්ඤාණය උපකාරයෙන් දැන ගන්නා දේවල් වලට ආරම්මණ (අරමුණු) කියනු ලැබේ. සෑම අරමුණක ම හොඳ බවක්, නරක බවක් හෝ මධ්‍යස්ථ බවක් ඇත. එම ස්වභාවයට ආරම්මණ රසය කියනු ලැබේ. ආරම්මණය හා ආරම්මණ රසය එකක් සේ නොගෙන, වෙන් වෙන් වශයෙන් සැළකිය යුතු ය. රසය ආරම්මණයේ ගුණයක් වැනි ය. විඤ්ඤාණයෙන් ආරම්මණය දැන ගනී. එහෙත් විඤ්ඤාණයට රස නොදැනේ.

යම්කිසිවක් අරමුණු කොට විඤ්ඤාණය උපදිනා කල්හි එය හා සමග ස්පර්ශ චෛතසිකය ද උපදී. ස්පර්ශය තොරව කිසිවිටෙක විඤ්ඤාණයක් නූපදී. ස්පර්ශය විඤ්ඤාණයට අරමුණ ගැනීමට උපකාර වේ. ස්පර්ශය නිසා ආරම්මණයේ රස මතු වෙයි. ආරම්මණ රසය මතු කිරීම ස්පර්ශයෙහි විශේෂ කෘත්‍යයකි. ස්පර්ශය ආරම්මණ රසය මතු කරන නමුත් රසය නොදනී. ස්පර්ශයෙන් ආරම්මණ රසය මතු කළ කල්හි ඒ රසය ගන්නා වූ, විඳින්නා වූ ස්වභාවයට වේදනාව කියනු ලැබේ. එය චෛතසිකයකි. ලෝකයෙහි වේදනාව කියනුයේ දුකට ය. එහෙත් වේදනා චෛතසිකයට සැප, දුක, මධ්‍යස්ථභාවය යන තුනම අයත් ය.

හොඳ (ඉෂ්ට) අරමුණක හොඳ බව ස්පර්ශයෙන් මතු කළ කල්හි එය ගන්නා වූ, විඳින්නා වූ ස්වභාවයට සුඛ වේදනාව (ශාරීරික සැපය) හෝ සෝමනස්ස වේදනාව (මානසික සැපය) කියනු ලැබේ. නපුරු (අනිෂ්ට) අරමුණක ඇති නපුරු බව ගන්නා වූ, විඳින්නා වූ ස්වභාවයට දුක්ඛ වේදනාව (ශාරීරික දුක) හෝ දෝමනස්ස වේදනාව (මානසික දුක) කියනු ලැබේ. මධ්‍යම අරමුණක ඇති මධ්‍යම බව ගන්නා වූ, විඳින්නා වූ ස්වභාවයට අදුක්ඛමසුඛ වේදනාව හෝ උපේක්ෂා වේදනාව කියනු ලැබේ. එහෙත් ආරම්මණයන්ගේ නිශ්චිත හොඳ හෝ නරක බවක් නැත. එය හොඳ හෝ නරක වන්නේ විඳින සත්ත්වයා අනුව ය. කෙනෙකුට හොඳ වූ, සුන්දර වූ දෙය, වෙන කෙනෙකුට නපුරු හෝ නුරුස්නා දෙයක් විය හැක.

විඤ්ඤාණ, වේදනා දෙකෙහි ම දුබල බව හෝ ප්‍රබල බව ස්පර්ශයට අනුව සිදු වේ. උදාහරණයක් වශයෙන්, දුර තිබෙන දෙයක් පිළබඳ ඇති වන්නේ මන්ද ස්පර්ශයකි. එබැවින් එය සම්බන්ධයෙන් ඇති වන්නේ ආරම්මණය තත්ත්වාකාරයෙන් ගැනීමට අසමර්ථ, දුබල විඤ්ඤාණයකි. එම විඤ්ඤාණය සමග උපදිනුයේ ද, ආරම්මණ රසය මනා කොට නොලබන්නා වූ, දුබල වේදනාවකි. අරමුණ සියුම් වන කල්හි ද, ස්පර්ශය දුබල වීමෙන් දුබල විඤ්ඤාණයත් හා වේදනාවන් උපදිති. යම්කිසි කරුණකින් ස්පර්ශය දුබල වූ කල්හි, ඉෂ්ට අරමුණක් වුව ද, අනිෂ්ට අරමුණක් වුව ද උපද වන්නේ උපේක්ෂා සහගත වේදනාකි. කවර ආකාරයෙන් හෝ ස්පර්ශය ඇති වුව හොත් වේදනාව ඒකාන්තයෙන් ම උපදී. එය වැළැක් වීමට සමත් බලයක් හෝ පුද්ගලයෙක් නැත. එබැවින් තථාගතයින් වහන්සේ ඵස්ස පච්චයා වේදනා යනුවෙන් වදාළ සේක.

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 59-61]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – සළායතන පච්චයා ඵස්සෝ

තත්ථ කතමෝ සළායතන පච්චයා ඵස්සෝ? චක්ඛු සම්ඵස්සෝ, සෝත සම්ඵස්සෝ, ඝාණ සම්ඵස්සෝ, ජිව්හා සම්ඵස්සෝ, කාය සම්ඵස්සෝ, මනෝ සම්ඵස්සෝ. අයං චුච්චති සළායතන පච්චයා ඵස්සෝ.

මෙම විභංග පාඨයෙන් දැක්වෙන පරිදි, චක්ඛු සම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය හා මනෝ සම්ඵස්සය යනාදිය ආයතන 6 නිසා පහළ වන ඵස්සය යි. (ඵස්සය යනු ස්පර්ශය යි. එනම් සිතින් ගන්නා අරමුණ සමග ගැටීම ය.)

නාමරූප පච්චයා සළායතනං යනුවෙන් ආයතන 6ක් දක්වන ලද නමුත්, ආයතන 12ක් ඇත. එයින් කියන ලද ආයතන 6ට ආධ්‍යාත්මික ආයතන කියනු ලැබේ. මෙයට අමතරව, රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, ඵොට්ඨබ්බ ආයතනය, ධම්ම ආයතනය ආදී වශයෙන්, ආධ්‍යාත්මික ආයතන වල ගැටෙන බාහිර ආයතන 6ක් ද ඇත. ආධ්‍යාත්මික ආයතන පමණක් ස්පර්ශය ඇති කිරීමට සමත් නොවේ. ස්පර්ශය හට ගන්නේ ආධ්‍යාත්මික හා බාහිර ආයතනයන දෙපක්ෂයේම සංයෝගයෙනි.

චක්ඛුං ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සෝ, යනුවෙන් නිදානවග්ග සංයුත්තයේ දක්වා ඇති පරිදි ඇසත් රූපයත් නිසා චක්ෂුර් විඤ්ඤාණය උපදී. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය යන තිදෙනාගේ එක් වීම ඵස්සය යි. මෙසේ ඵස්සය ඇති වීමට ප්‍රත්‍යය වශයෙන් ආධ්‍යාත්මික ආයතන සය හා බාහිර ආයතන සය යන 12ම ගත යුතු ය.

ඉදිරියට පැමිණි වස්තුවෙහි ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් චක්ඛු ප්‍රසාදයෙහි (චක්ඛායතනයෙහි) ඇත. එයට ප්‍රසාදය කියනුයේ එහෙයිනි. ප්‍රසාදය යන වචනයෙහි තේරුම ඔපය යනු යි. ඇසෙහි පිහිටි ඔපය චක්ඛු ප්‍රසාදය යි. රූපයෙහි මෙන් ම ශබ්දයෙහි ද ඡායාවක් ඇත්තේ ය. එය රූප ඡායාව මෙන් ඇසට පෙනෙන දෙයක් නොවේ. සෝතායතනය කියනු ලබන ශ්‍රෝත ප්‍රසාදයෙහි තමා තුළට ශබ්ද ඡායාව ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. ඝාණ, ජිව්හා, කාය ආයතනයන්හි ද ගන්ධ, රස, ස්පර්ශයන් ගන්නා ස්වභායක් ඇත. මනායතනයෙහි බාහිර ආයතන 6ම ගන්නා ස්වභාවයක් ඇත්තේ ය.

චක්ඛු ප්‍රසාදයට රූප ඡායාවක් (රූප ආයතනය) වැටීම ඒ වස්තූන්ගේ ආකාරය අනුව සිදු වන්නා වූ ඝට්ටනයකි. ශ්‍රෝත ප්‍රසාදයෙහි ශබ්ද ගැටීම ද එවැනි ය. ආයතනයන් ඔවුනොවුන් එක් වීම වශයෙන් ගැටුණු කල්හි විඤ්ඤාණයක් පහළ කරවීමේ ශක්තියක් ඇත.

  • චක්ඛායතනයෙහි රූප ආයතනය පැමිණ ගැටුණ කල්හි චක්ෂුර් විඤ්ඤාණය පහළ වේ.
  • සෝතායතනයෙහි ශබ්ද ආයතනය පැමිණ ගැටුණ කල්හි සෝත විඤ්ඤාණය පහළ වේ.
  • ඝාණායතනයෙහි ගන්ධ ආයතනය පැමිණ ගැටුණ කල්හි ඝ්‍රාණ විඤ්ඤාණය පහළ වේ.
  • ජිව්හායතනයෙහි රස ආයතනය පැමිණ ගැටුණ කල්හි ජිව්හා විඤ්ඤාණය පහළ වේ.
  • කායාතනයෙහි පොට්ඨබ්බ ආයතනය පැමිණ ගැටුණ කල්හි කාය විඤ්ඤාණය පහළ වේ.
  • මනායතනයෙහි ධම්ම ආයතනය පැමිණ ගැටුණ කල්හි මනෝ විඤ්ඤාණය පහළ වේ.
  • මනායතනයෙහි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායාතනය ගැටුණ කල්හි ද මනෝ විඤ්ඤාණය පහළ වේ.

චක්ඛායතනය, රූප ආයතනය හා චක්ෂුර් විඤ්ඤාණය යන ධර්ම තුන එකතු වූ කල්හි චක්ඛු සම්ඵස්සය ඇති වේ. චක්ඛු සම්ඵස්සය යනු ඇත්ත වශයෙන් ම ඵස්ස චෛතසිකය යි. එය චක්ඛු විඤ්ඤාණය සමග ම, එකිනෙකට වෙන් කළ නොහැකි සේ, එහි අංගයක් ලෙස, චක්ඛායතනය ඇසුරු කොට, රූප ආයතනය අරමුණු කොට උපදින චෛතසික ධර්මයකි. තිණ්ණං සංගති ඵස්සෝ යනුවෙන් චක්ඛායතනය, රූප ආයතනය හා චක්ඛු විඤ්ඤාණයන්ගේ එකතු වීම ඵස්සය යි වදාරා තිබීම පර්යාය කථාවකි. එය සූත්‍ර පිටක දේශනා වල ස්වභාවයකි. එබැවින් එහි තේරුම වචන අර්ථයෙන් පමණක් ගෙන, ඉහත ධර්ම 3හි එක් වීම ම ඵස්සය ලෙස වරදවා නොගත යුතු ය.

ඉතිරි සම්ඵස්සයන් ද ඉහත කියන ලද්දට අනුව සළකා ගත යුතු ය. යම්කිසි සත්ත්වයකුට ආධ්‍යාත්මික ආයතන 6 පහළ වුවහොත්, ඒවායේ නොයෙක් අරමුණු (බාහිර ආයතන) ගැටී, විඤ්ඤාණය පහළ වී, ඵස්සය ඇති වීම ඒකාන්තයෙන් ම සිදු වන්නකි. සළායතන පච්චයා ඵස්සෝ යනුවෙන් වදාරා ඇත්තේ එබැවිනි.

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 57-59]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – නාම රූප පච්චයා සළායතනං

තත්ථ කතමං නාමරූප පච්චයා සළායතනං? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායාතනං, මනායතනං ඉදං වුච්චති නාම රූප පච්චයා සළායතනං

චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායාතනය හා මනායතනය යනාදිය නාමරූපයන් නිසා හට ගන්නා වූ ආයතන ලෙස විභංග පාළියෙහි දක්වා ඇත.

  • මෙහිදී චක්ඛායතනය නමින් හැඳින් වෙන්නේ චක්ඛු විඤ්ඤාණය යැයි කියනු ලබන රූප දක්නා සිතට උත්පත්ති ස්ථානය වූ අසෙහි පිහිටි ඔපයට ය.
  • සෝතායතනය නමින් හැඳින් වෙන්නේ ශ්‍රෝත විඤ්ඤාණය යැයි කියනු ලබන හඬ දැන ගන්නා වූ සිතට උත්පත්ති ස්ථානය වූ කනෙහි පිහිටි ඔපයට ය.
  • ඝාණායතනය නමින් හැඳින් වෙන්නේ ඝ්‍රාණ විඤ්ඤාණය යැයි කියනු ලබන ගඳ දැන ගන්නා වූ සිතට උත්පත්ති ස්ථානය වූ නාසය තුළ පිහිටි ඔපයට ය.
  • ජිව්හායතනය නමින් හැඳින් වෙන්නේ ජිව්හා විඤ්ඤාණය යැයි කියනු ලබන රස දන්නා වූ සිතට උත්පත්ති ස්ථානය වූ දිවෙහි පිහිටි ඔපයට ය.
  • කායාතනය නමින් හැඳින් වෙන්නේ කාය විඤ්ඤාණය යැයි කියනු ලබන තද බව, මෘදු බව, සිසිල් බව, උණුසුම් බව ආදිය දන්නා සිතට උත්පත්ති ස්ථානය වන, ශරීරය පුරා පැතිර පවතින, ශරීරයෙහි ඇතුළත, පිටත දෙකෙහි ම පිහිටි ඔපයට ය.
  • රූප, ශබ්ද ආදී සෑම අරමුණක් ම දැන ගන්නා වූ විඤ්ඤාණය (සිත) මනායතනය යි.

චක්ඛු ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ඝ්‍රාණ ප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කාය ප්‍රසාදය නමින් හැඳින්වෙන්නේ ද මෙම ආයතන ම ය.  මෙම ආයතන 6 විසින් රූප, ශබ්ද ආදී අරමුණු ගැනීම හේතු කොට ගෙන බොහෝ චිත්ත චෛතසිකයන් උපදී. එවිට සංසාරය දීර්ඝ වේ. නාමරූප පහළ නොවුව හොත් මෙම ආතන පහළ වීමට ඉඩක් නැත. නාමරූප නිසා ආයතන 6 වේ යැයි කයනුයේ එබැවිනි.

නාමරූපයන් හේතු කොට ගෙන කාම ලෝකයෙහි ආයතන 6ම පහළ වේ. රූප ලෝකයෙහි චක්ඛායතනය, සෝතායතනය, මනායතනය යන තුන පමණක් පහළ වේ. අරූප ලෝකයෙහි මනායතනය පමණක් පහළ වේ.

මනායතනය යනු චිත්තය හෙවත් විඤ්ඤාණය ම ය. ඉහත දී විඤ්ඤාණ පච්චයා නාමරූපං යනුවෙන් නාමරූපයන්ගේ හේතුව වශයෙන් විඤ්ඤාණය දක්වන ලදි. එසේ නම් විඤ්ඤාණය නිසා නාමරූප ඇති වී, නැවත නාමරූප නිසා විඤ්ඤාණය හට ගන්නේ කෙසේ ද යනුවෙන් ප්‍රශ්ණයක් මෙහිදී ඇති විය හැක. මෙය ගෙඩිය නිසා ගස ඇති වී, ගස නිසා නැවත ගෙඩි හට ගැනීම සේ තේරුම් ගත යුතු ය. මතු දක්වන මෙබඳු අවස්ථාවන්හි දී ද, මෙසේ සලකා ගත යුතු ය.

රූපය නිසා ෂඩායතනය හට ගැනීම

අණ්ඩජ හා ජලාබුජ මවුකුස උපදිනා සත්ත්වයින්ට ප්‍රතිසන්ධිය සමග ම කායාතනය (කාය දශක කලාපය) හා මනායතනය (වස්තු දශක කලාපය) පහළ වේ. ප්‍රතිසන්ධිය සමග පහළ වූ කුඩා රූප පිණ්ඩය ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගනී. වැඩීම නිසා කල් යාමෙන් ඇස්, කන්, නාසය, දිව යන අවයවයන් (රූප) පහළ වෙති. ඒවා පහළ වූ කල්හි ඒ ඒ තැන් වල චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය යන ආයතන සතර පහළ වේ. ආයතන ඇති වීමට හේතුව රූප බව දක්වා ඇත්තේ මේ නිසා ය.

සංසේදජ හා ඕපපාතික සත්ත්වයින්ට උත්පත්තිය සමග ම සියලුම ආයතනයන් පහළ වේ. ඉන්පසු නාමරූපයන් නිසා පරම්පරා වශයෙන් ඒවා ජීවත් වන කාලය මුළුල්ලෙහි නැවත නැවත පහළ වේ.

නාමය නිසා මානායතනය හට ගැනීම

ෂඩායතනයට හේතු භාවයෙන් කියන ලද නාම ධර්ම වන්නේ චෛතසික 52 ය. චිත්ත චෛතසික දෙකෙන් සිත ප්‍රධාන වුවද, යම්කිසි චෛතසික ධර්මයක් අධික වීර්යයෙන්, අධික වේගයෙන් හට ගත් විට, එම චෛතසිකය නිසා බොහෝ සිත් උපදී. උදාහරණ වශයෙන්, සත්ත්වයින්ට හමුවන ඇතැම් අරමුණු නිසා සමහර විට අධික වීර්යයෙන් යුක්ත ව, බලවත් ව ලෝභය උපදී. සමහර විටක දී ද්වේශය උපදී. මේ ආකාරයට මානය, ඊර්ෂ්‍යාව, මෛත්‍රිය, කරුණාව, ශ්‍රද්ධාව, ප්‍රඥාව, ප්‍රීතිය ආදී නොයෙක් චෛතසික උපදී. මෙසේ බලවත්ව උපදින චෛතසික හේතු කොට ගෙන සිත් බොහෝ ගණනක් අනාගතයෙහි උපදවනු ලැබේ. මෙම පසුව ඇති වන සිත්, නාමය නිසා හට ගත් මනායතනයන් ය. වරක් බලවත් ව ඇති වන කෝපය හෝ ද්වේශය නිසා මාස ගණන් හෝ වර්ෂ ගණන් ගත වන තුරු ද ලෝභ සහගත හෝ ද්වේශ සහගත සිත් ඇති විය හැක. මෙසේ උත්සන්න භාවයෙන් පහළ වන සෑම චෛතසිකයක් ම නිසා මනායතනයන් ඇති වන සැටි සලකා ගත යුතු ය.

මෙම ආයතන 6 බාහිර පිහිටි අරමුණු ගැනීමට උපකාර වන බැවින් ද්වාර (දොරටු) නමින් ද හැඳින් වේ. ශරීරය ද්වාර 6ක් ඇති ගෙයක් වැනි ය. ආයතන ද්වාර නැති කල්හි ශරීරය ක්‍රියා විරහිත වේ. මෙම ආයතන එකිනෙකට සම්බන්ධයක් නැති, වෙන් වෙන් වූ ධර්මයන් ය. එය එසේ තේරුම් නොගෙන, ශරීරය හා එක් කොට, එකම දෙයක් වශයෙන් වරදවා ගැනීම නිසා මෙම නාමරූප සහිත ශරීරය මමය, මගේය ලෙස ගන්නා වූ සත්කාය දෘෂ්ටිය නම් ක්ලේශය ඇති වේ. එය සත්ත්වයින් සසරට බැඳ තබන්නා වූ හේතුවකි. චක්ඛායතනය නිසා මම දකිමි යන සත්කාය දෘෂ්ටිය ඇති වේ. සෝතායතනය නිසා මම අසමි යන සත්කාය දෘෂ්ටිය උපදී. මෙසේ ආයතන 6 හේතුවෙන් සත්කාය දෘෂ්ටිය උපදී. එබැවින් මෙම ආයතනයන්ගේ සැබෑ තත්වය දැන ගැනීම, දැකීම, සත්කාය දෘෂ්ටිය දුරු කර ගැනීමට උපකාර වේ.

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 52-57]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

පටිච්ච සමුප්පාදය – විඤ්ඤාණ පච්චයා නාමරූපං

තත්ථ කතමං විඤ්ඤාණ පච්චයා නාමරූපං? අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං? වේදනාක්ඛන්ධෝ, සංඤ්ඤාක්ඛන්ධෝ, සංඛාරක්ඛන්ධෝ. ඉදං වුච්චති නාමං. තත්ථ කතමං රූපං? චත්තාරෝ ච මහාභූතා චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං. ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං ඉදං වුච්චති විඤ්ඤාණ පච්චයා නාම රූපං

මෙම විභංග පාඨයෙන් දැක්වෙන පරිදි, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය යන ස්කන්ධ තුන නාම වශයෙන් ද, සතර මහා භූතයන් හා ඒවා නිසා පවතින උපාදා රූප යනාදිය රූප වශයෙන් ද, මෙම නාම රූප දෙක විඤ්ඤාණය නිසා හට ගන්නා නාමරූපය වශයෙන් ද සැලකිය යුතු ය.

සත්ත්වයෙකුට නාම කය හා රූප කය යනුවෙන් දෙකයක් ඇත. සත්ත්ව සන්තානයට අයත් චිත්ත හා චෛතසික පරම්පරාවට නාම කය කියනු ලැබේ. ඇසට පෙනෙන්නට තිබෙන ශරීරයට රූප කය කියනු ලැබේ. චිත්ත චෛතසික පරම්පරාවට නාම කය කියනුයේ නම අසා, නමට අනුව දත යුත්තක් බැවිනි. නාම කය ස්කන්ධ වශයෙන් වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ වශයෙන් සතරක් වේ. රූප කය භූත රූප හා උපාදාය රූප වශයෙන් දෙවැදෑරුම් වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ප්‍රධාන රූප 4 භුත රූප නම් වේ. ඒ රූප නිසා පවතින වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී අප්‍රධාන රූප 24 උපාදාය රූප නම් වේ. රූප සියල්ලම 28කි.

රූප කය පාලනය කරනු ලබන්නේ නාම කය විසිනි. එබැවින් නාම කය ප්‍රධාන ය. නාම කයට අයත් සකන්ධ සතරෙන් විඤ්ඤාණ ස්කන්ධය ප්‍රධාන වේ. ඉතිරි ස්කන්ධ 3 විඤ්ඤාණය නිසා පවතින බැවින් අප්‍රධාන ය. අඳුරු ස්ථානයක පහනක් දැල්වූ විට ගින්න පහළ වීමත් සමග ම ආලෝකයක් හා උණුසුමක් එම ගින්න නිසා හට ගනී. එමෙන් ම, අතීත කර්ම හේතුවෙන් විඤ්ඤාණය නැමති ප්‍රධාන ධර්මය පහළ වීමත් සමග ම, එය හා බැඳී, චෛතසික නැමති අප්‍රධාන නාම ධර්ම ද පහළ වෙති. මෙම චෛතසික නිසා විඤ්ඤාණය විසිතුරු වේ. අරූප ලෝකයේ හැර අනෙකූත් තැන්හි දී, ඒ ඒ භවයට අනුරූප වන පරිදි, විඤ්ඤාණයෙහි පිහිටීමට හා පැවැත්මට උපකාර වන රූප ද විඤ්ඤාණය නිසා පහළ වෙති.

විඤ්ඤාණය හේතුවෙන් නාම හට ගැනීම

චක්ෂුර් විඤ්ඤාණය ආදී සවැදෑරුම් විඤ්ඤාණය පහළ වී පරම්පරා වශයෙන් වැඩෙන කල්හි, එම සිත් වලට අනුකූලව, එය හා බැඳී බොහෝ චෛතසික ධර්ම ද පහළ වේ. උදාහරණයක් වශයෙන්, පෙනීම සිදු වන්නේ චක්ඛු විඤ්ඤාණය පහළ වීම නිසා ය. එවිට එම දුටු දෙය සුන්දර දෙයක් නම් සතුටක් හෝ ලෝභයක් ඇති වේ. අකමැති දෙයක් නම් ද්වේශයක් හෝ පිළිකුලක් ඇති වේ. සමහර විට බියක් ඇති වේ. සමහර විර ඊර්ෂ්‍යාවක් ඇති වේ. සමහර විට මානයක් ඇති වේ. සමහර විට ශ්‍රද්ධාවක් ඇති වේ. සමහර විට කරුණාවක් ඇති වේ. සමහර විට මෛත්‍රියක් ඇති වේ. මේ ආකාරයට චක්ඛු විඤ්ඤාණය හේතු කොට ගෙන බොහෝ චෛතසික ධර්ම උපදී. එසේ ම සෝත, ඝණ, ජිව්හා, කාය, මනෝ යන විඤ්ඤාණයන් අනුව ද බොහෝ චෛතසික ධර්ම උපදී. මේ විඤ්ඤාණය නිසා විවිධ නාම ධර්ම උපදින ආකාරය යි.

විඤ්ඤාණය හේතුවෙන් රූප හට ගැනීම

විඤ්ඤාණය නිසා රූප උපදින ආකාරය මෙසේ දත යුතු ය. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික ආදී සත්ත්ව ජාති සතරක් ඇත. පක්ෂින්, සර්පයින් ආදී බිත්තර තුළින් උපදින සත්ත්වයින් අණ්ඩජ නම් වේ. මනුෂ්‍ය, ගව ආදී මව්කුස වැදෑමස යැයි කියන සම් කොපුවෙහි හට ගන්නා සත්ත්වයින් ජලාබුජ නම් වේ. කුණු මස්, කුණු මාළු ආදී ස්ථාන වල තෙතමනය ආශ්‍රිතව උපදින සත්ත්වයින් සංසේදජ නම් වේ. සියළු අංග සම්පූර්ණව, ක්ෂනිකව පහළ වන සත්ත්වයින් ඕපපාතික නම් වේ.

රූප උපදින්නේ සමූහ වශයෙනි. රූපයකට තනිව ඉපදිය නොහැක. එක් ව උපදින රූප සමූහයන්ට රූප කලාප කියනු ලැබේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යන රූප 8 එකිනෙක ගැටී, සම්බන්ධ වී, එක රූප පිණ්ඩයක් වී උපදී. එම රූප පිණ්ඩයට ශුද්ධාෂ්ටකය කියනු ලැබේ. එම රූප 8 සෑම රූප කලාපයක ම ඇත. එම රූප 8ට තවත් රූප එක් වීමෙන් රූප නවය, දහය, එකොළොස, දොළස, තෙළස බැගින් ඇති කලාප සෑදී ඇත. රූප කලාප ඉතා ම කුඩා ය. එයට වඩා කුඩා දෙයක් ලෝකයේ නැත. ලෝකයා විසින් ඉතා ම කුඩා දෙය ලෙස සළකන පරමානුව පවා රූප කලාප බොහෝ ගණනකින් සෑදී ඇත. සත්ත්ව ශරීර හටගන්නේ මෙම රූප කලාප වලිනි.

කර්ම, චිත්ත, ඍතු, ආහාර යනුවෙන් රූප හට ගැනීමට හේතු 4කි. සත්ත්ව සන්තාන පිටත ඇත්තේ ඍතුවෙන් හට ගන්නා රූප පමණකි. ඍතුව යනු ශීත උෂ්ණ දෙක ය. සත්ත්ව සන්තාන වල හේතු 4න්ම හට ගන්නා රූප ඇත. එහෙත් අතීත කර්මය හේතුවෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහළ නුවුව හොත් රූප හට ගැනීමට අවස්ථාවක් නොලැබේ. විඤ්ඤාණ පච්චයා නාම රූපං යනුවෙන් දේශනා කර ඇත්තේ එබැවිනි.

විපාක විඤ්ඤාණය හේතුවෙන් අරූප භවයේ නාමය පමණක් හට ගනී. අසංඥ භවයෙහි විපාක විඤ්ඤාණයක් පවා නැත. එහි අතීත කර්ම විඤ්ඤාණය හේතු කොට රූප පමණක් ඇති වේ. ඉතිරි භව වල විඤ්ඤාණ හේතුවෙන් නාම රූප දෙක ම හට ගනී. මේ අනුව විඤ්ඤාණ පච්චයා නාම රූපං යන්නෙහි අර්ථය ඉහත සඳහන් තුන් ආකාරයෙන් ම ගත යුතු ය.

අතීත කර්ම හේතුවෙන් හට ගන්නා වූ ප්‍රතිසන්ධි විඤ්ඤාණයත් සමග අණ්ඩජ, ජලාබුජ සත්ත්වයින්ට කාය දශකය, භාව දශකය හා වස්තු දශකය යන රූප කලාප තුන පහළ වේ. රූප කලාප දෙකකින් හෝ තුනකින් යුක්ත එම රූප පිණ්ඩයට කලල රූපය කියනු ලැබේ. කලල රූපයෙහි කලාප දෙකක් හෝ තුනක් කියනුයේ ජාති වශයෙනි. එක් එක් ජාතියට අයත් රූප කලාප බොහෝ ගණනක් එහි ඇත. මඳක් මෝරන කල්හි එයට චිත්තජ හා ඍතුජ කලාප ද එක් වෙති. කලල රූපයෙහි පටන් මනුෂ්‍යයාගේ වැඩීමේ පිළිවෙළ තථාගතයින් වහන්සේ විසින් යක්ෂ සංයුක්තකයෙහි මෙසේ වදාරා තිබේ.

පළමු කොට මාතෘ ගර්භයේ කලල රූපය හට ගන්නේ ය. ඒ කලල රූපයෙන් අබ්බුදය (පෙණපිඩ) හට ගන්නේ ය. අබ්බුදයෙන් පේශිය හට ගන්නේ ය. පේශියෙන් ඝනය හට ගන්නේ ය. ඝනයෙහි අතු 5ක් ද, කෙස්, ලොම්, නිය ආදිය ද හට ගන්නේ ය.

එම පිළිවෙල විස්තර වශයෙන් මෙසේ ය. තල තෙල් බින්දුවක හෝ පිරිසිදු ගිතෙල් බින්දුවක පැහැය හා සටහන ඇති දෙයකට කලලය කියනු ලැබේ. තෙල් බිඳක් වැනි වූ එම කලල රූපය ප්‍රමාණයෙන් ඉතා කුඩා ය. එය ඉතා සිහින් වූ එළු ලෝමයක් පිරිසිදු තල තෙලෙහි දමා ගත් කල්හි එහි අග සිටින තෙල් බින්දුව පමණ වන බව විභංග අටුවාවෙහි දක්වා තිබේ.

කලලය සතියක් පවතී. එය මෝරා, සමූහාකාර වී, කලල ආකාරය අත්හැර අබ්බුදය නම් දෙය බවට පත් වේ. අබ්බුදය සතියක් පවතී. එය මෝරා, සමූහාකාර වී, අබ්බුද ස්වභාවය අත්හැර පේශි නම් දෙය බවට පත් වේ. පේශිය සතියක් පවතී. එය මෝරා, සමූහාකාර වී, පේශි ස්වභාවය අත්හැර ඝන නම් දෙය බවට පත් වේ. කර්ම හේතුවෙන් හට ගත්තා වූ ඝනය, කිකිළි බිත්තරයක් මෙන් හාත් පසින් ම වට වී පවතී. එය හට ගන්නේ සතර වන සතියෙහි ය.

පස් වන සතියෙහි ඝනය මේරීමට පැමිණ, එම සත්ත්වයාගේ හිස හට ගන්නා තැන එක බුබුලක් ද, අත් හට ගන්නා තැන බුබුළු දෙකක් ද, පා හට ගන්නා තැන බුබුළු දෙකක් ද වශයෙන් බුබුළු 5ක් ඇති වේ. එම බුබුළු ක්‍රමයෙන් වැඩී ඇස්, කන්, අත්, පා ආදිය පහළ වේ.

මෙසේ අතීත කර්ම හේතුවෙන් මව්කුස උපන්නා වූ සත්ත්වයාගේ සන්තානයෙහි ප්‍රතිසන්ධි සිත නිරුද්ධ වන්නට මත්තෙන් ම ඍතුජ රූප පහළ වෙති. ප්‍රතිසන්ධි චිත්තයට අනතුරුව උපදින දෙවන සිත ඉපදීමේ පටන් චිත්තජ රූප පහළ වෙති. ආහාරජ රූප පහළ වන අවස්ථාව නියම වශයෙන් දක්වා නැත. මවු කුස වෙසෙන දරුවා ආහාර අනුභව නොකරන බැවින් මව අනුභව කරන ආහාරයෙන් ම යැපෙයි. මව වැළඳූ ආහාය දරුවාගේ කයට පැමිණීමට පටන් ගත් තැන සිට එම ශරීරයෙහි ආහාරජ රූප උපදින්නේ ය.

කාම භවයෙහි සම්පූර්ණයෙන් රූප පහළ වීම ඇත්තා වූ සංසේදජ සත්ත්වයින්ට ප්‍රතිසන්ධි විඤ්ඤාණයන් සමග චක්ෂුර් දශකය, ශ්‍රෝත දශකය, ඝ්‍රාණ දශකය, ජිව්හා දශකය, කාය දශකය, භාව දශකය හා වස්තු දශකය යන රූප කලාප 7ක් විඤ්ඤාණය නිසා පහළ වේ. ප්‍රතිසන්ධියෙන් පසු චිත්තජ, ඍතුජ, හා ආහාරජ රූප ද ඒවාට එකතු වීමෙන් අනුක්‍රමයෙන් එම සත්ත්වයාගේ ශරීරය සම්පූර්ණ වේ. කාම භවයෙහි සම්පූර්ණයෙන් රූප ලැබෙන ඕපපාතික සත්ත්වයින්ට ද ප්‍රතිසන්ධි චිත්තය සමග චක්ෂුර් දශකය, ශ්‍රෝත දශකය, ඝ්‍රාණ දශකය, ජිව්හා දශකය, කාය දශකය, භාව දශකය හා වස්තු දශකය යන රූප කලාප 7ක් පහළ වේ. ඉන්පසු චිත්තජ, ඍතුජ, හා ආහාරජ කලාප ද එයට එක් වෙති.

රූප ලෝකයෙහි බ්‍රහ්මයන්ට ඝ්‍රාණ, ජිව්හා, කාය හා භාව දශක කලාප නොලැබෙති (ශරීරයක් තිබෙන නමුත් සුවඳ, රස, ස්පර්ශය දැනීමක් නැත. ස්ත්‍රී, පුරුෂ භේදයක් නැත). ආහාරජ කලාප ද නොලැබෙති. විඤ්ඤාණය සර්ව ආකාරයෙන් නොලැබෙන අසංඥ භවයෙහි රූපය ම ප්‍රතිසන්ධිය වේ. එහි ප්‍රථමයෙන් උපදිනා අවස්ථාවේ විඤ්ඤාණයක් නැති බැවින් අතීත කර්ම විඤ්ඤාණය හේතු කොට ගෙන ජීවිත නවක කලාපයන්ගෙන් ශරීරයක් නිර්මිත වේ. පසුව ශබ්දය හැර ඉතිරි ඍතුජ රූපයන් ද එයට එකතු වේ.

මෙසේ ඒ ඒ භවයන්හි විඤ්ඤාණය පහළ නොවී නම් නාම රූපයන් ද පහළ නොවන බැවින් විඤ්ඤාණය නිසා නාම රූප පහළ වේ යැයි කියනු ලැබේ.

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 45-52]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය

 

 

පටිච්ච සමුප්පාදය – සංඛාර පචචයා විඤ්ඤාණං

තත්ථ කතමං සංඛාර පච්චයා විඤ්ඤාණං? චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ඝාණ විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං ඉදං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං.

චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යන මේ සය, සංස්කාර නම් හේතුවෙන් හට ගන්නා වූ විඤ්ඤාණය ලෙස විභංග පාළියෙහි දක්වා ඇත. විඤ්ඤාණය යනු දැනීම හෙවත් සිත ය. පෙනීම, ඇසීම, දැනීම යනාදිය ඇති වන්නේ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය ආදී සිත් පහළ වීමෙන් ය.

විඤ්ඤාණය (සිත, චිත්තය) සාමාන්‍යයෙන් එකක් වුවද, කුසල සිත්, අකුසල සිත් හා අව්‍යාකෘත (විපාක ඇති නොකරන) සිත් වශයෙන් තෙවැදෑරුම් වේ. එයින් මෙහි ගනු ලබන්නේ අව්‍යාකෘත විඤ්ඤාණය යි. එයද විපාක, ක්‍රියා වශයෙන් දෙවැදෑරුම් වේ. මෙහි ගනු ලබන්නේ විපාක විඤ්ඤාණය යි. 

චතුරාර්ය සත්‍යය නොදැනීම නැමති අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී. සංස්කාර හෙවත් කුසල, අකුසල කර්ම රැස් කළ තැනැත්තා මරණයට පත් වන අවස්ථාවෙහි එළඹ සිටි කර්මයක් හේතු කොට ගෙන, එයට අනුරූප ව යම්කිසි ස්ථානයක මනෝ විඤ්ඤාණය පහළ වේ. භවයක පළමුවෙන් පහළ වන එම විඤ්ඤාණයට ප්‍රතිසන්ධි විඤ්ඤාණය කියනු ලැබේ. එය පහළ වීමෙන් සත්ත්වයා දෙවන භවයට පැමණිය ලෙස, එනම් දෙවන භවයෙහි උපන්නේ යැයි සළකනු ලැබේ. අතීත කර්ම හේතු කොට ගෙන අන් තැනක විඤ්ඤාණය මෙසේ පහළ වීමෙන් සිදු වන ඉපදීම අවබෝධ කර ගැනීමට දුෂ්කර, ගැඹුරු කරුණකි.

මෙම පටිච්චසමුප්පාදය අවබෝධ කර නොගත් සමහරුන්, ප්‍රාණය නම් දෙයක් ඇති සැටියට ගෙන, එය එක් ශරීරයකින් තවත් ශරීරයකට යෑමෙන් උත්පත්තිය සිදු වන බව පැවසූහ. තවත් සමහරුන් ආත්ම නම් වූ දෙයක් මවා ගෙන එය එක් ශරීරයකින් තවත් ශරීරයකට යාමෙන් නැවත ඉපදීම සිදු වෙතැයි පැවසූහ. ඇතමෙක් නිත්‍යව පවතින විඤ්ඤාණයක් සිතින් මවා ගෙන, එය එක් ශරීරයකින් තවත් ශරීරයකට යෑමෙන් නැවත ඉපදීම සිදු වෙතැයි පැවසූහ. එක් ශරීරයකින් තවත් භවයකට යන යම්කිසිවක් ඇතැයි ගැනීම ශාශ්වත දෘෂ්ටිය යි. මතු ඉපදීමක් නැතැයි ගැනීම උච්ඡේද දෘෂ්ටිය යි. ශාශ්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය තරම් අනර්ථ දායක නොවේ. එය තිබීම මරණින් මතු සුගතියට යාමට බාධාවක් නොවේ. තථාගතයින් වහන්සේ විසින් දක්වන ක්‍රමය එම දෘෂ්ටි දෙකටම හසු නොවන ක්‍රමයකි. තථාගතයින් වහන්සේ එම අන්ත දෙකටම නොගොස් මධ්‍යයෙන් ධර්මය දේශනා කොට ඇත. එම ක්‍රමයට අනුව වර්තමාන සත්ත්වයාගෙන් කිසි කොටසක් අනාගත භවයට නො යන්නේ ය. එහෙත් නැවත ඉපදීම ද සදු වන්නේ ය. මෙය තේරුම් ගැනීමට අපහසු කරුණකි.

පුනරුප්පත්තිය සිදු වන ආකාරය

සත්ත්වයෙකුට සිත, කය කියා කොටස් දෙකකි. සිත නොමැතිව කයට කිසිඳු ක්‍රියාවක් සිදු කළ නොහැක. එමෙන්ම සිත පිහිටීමට කය උපකාර වන බැවින් කය නොමැති ව සිතට ද පැවතිය නොහැක (අරූප භවයන් හැරුණු විට). සිත යම්කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක් ම ඉතා සුළු කාලයක් ඇතුළත ඉපිද, පැවතී, බිඳී යයි. උපන්නා වූ සිතක් බිඳීමත් සමග ම, අළුත් සිතක් පහළ වේ. අතරක් නොසිටින පරිදි අළුත් සිතක් පහළ වීම ගලා බසින ගංගාවකට උපමා කළ හැක. මෙසේ පරතරයක් හෙවත් සිස් කාලයක් නොසිටින සේ අළුත් සිත් පහළ වීම සිතෙහි ඇති එක්තරා ඍද්ධි විශේෂයකි. එබැවින් සිත් පරම්පරාව, දීර්ඝ වූ වැලක් සේ නොසිඳී නිවනට පැමිණෙන තුරු පවතී.

යම් සත්ත්ව සන්තානයක එක් වරකට හට ගන්නේ එක් සිතක් පමණි. කසිවිටෙක සිත් කිහිපයක් හට නොගනී. සත්ත්වයෙකු මැරී වෙනත් භවයක උපන් විට එම ශරීර දෙක අතර කිසිම සම්බන්ධයක් නැත. එහෙත් චිත්ත පරම්පරාව එකම ය. එබැවින් එම සත්ත්වයා අළුත් භවයකට පැමණියේ යැයි කියනු ලැබේ.

සත්ත්ව ශරීරයෙහි හෘදය කෝෂය ඇතුළත පවත්නා ලෙය ඇසුරු කොට ගෙන එක්තරා ධාතු කොටසක් ඇත. විඤ්ඤාණ ධාතුවට ආධාර ස්ථානය වන එයට අභිධර්ම ප්‍රකරණ වල වස්තු රූපය, හෘදය රූපය යන නම් ව්‍යවහාර වේ. එම වස්තු රූපය විඤ්ඤාණ ධාතුව සේ ම බිඳි බිඳී, නැවත නැවත උපදෙමින් පරම්පරා වශයෙන් පවත්නකි. හෘදය කෝෂය තුළ නිතර පවත්නා ලෙයක් නැත. නිරන්තරයෙන් ම ලේ ඇතුළු වෙමින්, බැහැර වෙමින් පවතී. එහෙත් හෘදය රූපය යන ධාතු විශේෂය හෘදය කෝෂය තුළ ඇති ලෙය සමග පවත්නා මිස, ඉන් බැහැර වූ ලෙය සමග පිටතට නොයයි. එබැවින් වස්තු රූපය හෘදය කෝෂය තුළම පවත්නා බව කියනු ලැබේ. සත්ත්වයාගේ සිත් පරම්පරාව පවත්නේ එම වස්තු රූපයෙහි ය.

හෘදය කෝෂය ලේ ගණිමින්, බැහැර කිරමින්, නිරන්තරයෙන් ක්‍රියා කරන්නේ ය. යම්කිසි හේතුවකින් එය ක්‍රියා විරහිත වුව හොත් එහි ලෙය විකෘතියට පැමිණේ. ඉන්පසු විඤ්ඤාණ ධාතුවට නිඃශ්‍රය වන (පිහිටීමට උපකාර වන) හෘදය රූප නම් වූ ධාතු කොටසට එම ලෙයෙහි පැවතිය නොහැකි වේ. හෘදය රූපය ඇසට නොපෙනෙන සියුම් ධාතු විශේෂයකි. එහි ඇති නැති බව නිසා ලෙයෙහි අමුත්තක් නොපෙනේ. මෙම හෘදය රූපය අනුක්‍රමයෙන් හීන වී ගොස්, සම්පූර්ණයෙන් නැසුන පසු, එම ශරීරයෙහි සිත් ඉපදීමට සුදුසු ස්ථානයක් නැති වේ. එම ශරීරයෙහි උපදින අවසාන සිත නිරුද්ධ වූ විට එම සත්ත්වයා මරණයට පත් වූවා යැයි කියනු ලැබේ. විඤ්ඤාණයට නිඃශ්‍රය වන යමක් එම ශරීරයෙහි නැති වුව ද, එම චිත්ත පරම්පරාවෙහි අතරක් නෑර සිත් ඉපදවීමේ ශක්තිය තවමත් පවතී. එබැවින් එම අවසාන විඤ්ඤාණය නිරුද්ධ වූ පසු, එම චිත්ත පරම්පරාවේ ඊළඟ සිත එයට සුදුසු වෙනත් ස්ථානයක උපදින්නේ ය. යම් ශරීරයක අවසාන වශයෙන් උපදිනා විඤ්ඤාණය චුති සිත ලෙස ද, එයට අනතුරුව වෙනත් ස්ථානයක උපදිනා එම පරම්පරාවෙහි ඊළඟ විඤ්ඤාණය ප්‍රතිසන්ධි සිත ලෙස ද හඳුන්වනු ලැබේ.

සිතකට එක් තැනක සිට තවත් තැනකට කිසිවිටෙක යා නොහැක. එය යම් තැනක උපදී ද, එම ස්ථානයෙහි ම නිරුද්ධ වේ. එක් ශරීරයක් ඇසුරු කොට පහළ වන සිත් සියල්ල මෙහි ම නිරුද්ධ වේ. එබැවින් ප්‍රතිසන්ධි විඤ්ඤාණය යන සිත, මෙම ශරීරයෙහි සිට අළුත් ශරීරයකට ගමන් කරන දෙයක් නොව, අළුත් ශරීරයක අළුතින්ම උපදින සිතකි. එබැවින් මෙම භවයෙහි සිට අළුත් භවයට යන කිසිවක් නැත. එහෙත් චුති සිත සහ ප්‍රතිසන්ධි සිත එකම චිත්ත පරම්පරාවට අයත් ය. එබැවින් සත්ත්වයෙකු භවයෙන් භවයට ගමන් කිරීමක් සත්‍ය වශයෙන් නැත ද, මෙම පරම්පරා සම්බන්ධය නිසා ලෝක ව්‍යවහාරයේ සැටියට මෙම සත්ත්වයා අපායට ගයේය, දෙව් ලොවට ගියේය යැයි කියනු ලැබේ.

සංස්කාර නිසා විඤ්ඤාණය උපදීම

සිත පරම්පරා වශයෙන් නොසිඳී පවතිනේ යැයි කියන ලද නමුත්, සෑම සිතක් ම උපදින්නේ එම සිත ඇති වීමට සුදුසු වූ හේතූන්ගෙනි. හේතුවකින් තොරව, ඉබේ ම උපදිනා සිතක් නැත. ප්‍රතිසන්ධි සිත හෙවත් භවයක ප්‍රථමයෙන් උපදිනා විඤ්ඤාණය, සංස්කාර නැමති හේතුවෙන් උපදින්නකි. එනම් කුසල හෝ අකුසල කර්මයක් හේතුවෙන් උපදින්නකි. එය සිදු වන්නේ මෙසේ ය.

මරණාසන්න සත්ත්වයාගේ චිත්ත සන්තානයට කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එකක් අරමුණු වේ. කර්මය යනු එම සත්ත්වයා විසින් එම භවයෙහි හෝ පෙර භවයක දී සිදු කළා වූ කුසල හෝ අකුසල කර්මයන් ය. මරණාසන්න මොහොතේ එම සත්ත්වයාට එම කර්ම අතුරින් යම්කිසි කර්මයක් සිහි වේ.

කර්ම නිමිත්ත යනු යම්කිසි කර්මයක් සිදු කිරීමට උපකාර වූ වස්තු හා පුද්ගලයින් ය. ප්‍රාණඝාත කළ කෙනෙකුට මරනු ලැබූ සතුන් හෝ එය සඳහා යොදා ගත් උපකරණ හෝ එයට සහාය වූ පුද්ගලයින් සිහි වේ. දන් දුන් තැනැත්තාට ආහාර පාන ආදී දාන වස්තු හෝ ප්‍රතිග්‍රාහකයින් හෝ එයට සහාය වූ පුද්ගලයින් හෝ සිහි වේ. වන්දනා කළ තැනැත්තාට විහාර, චෛත්‍යය, මල්, පහන් ආදී වස්තු සිහි වේ. ඒවා තමා සමීපයෙහි තිබේ නම් කර්ම නිමිත්ත වශයෙන් ඇසට ම පෙනෙන්නේ ය. අතීත භවයන්ගේ කර්ම නිමිති සිහින පෙනෙන්නාක් මෙන් සිතට පෙනෙන්නේ ය.

ගති නිමිත්ත යනු මතු ලබන්නා වූ භවයට අයත් යම්කිසි දෙයක් සිහි වීම ය. නිරයෙහි උපදිනා සත්ත්වයෙකුට ගිනි ජාලා, යම පල්ලු ආදී භයංකර දේ ගති නිමිති වශයෙන් දර්ශනය වේ. ප්‍රේතයන් වී උපදින්නන්ට ප්‍රේතයින්ගේ වාසස්ථාන ආදිය සිහි වේ. මවු කුසක උපදින්නන්ට රතු රෙද්දක් සේ මව් කුසම දර්ශනය වේ.

මෙසේ මරණාසන්නයෙහි සත්ත්වයෙකුගේ චිත්ත සන්තතිය මෙම නිමිති තුන අතුරෙන් එළඹ සිටි දෙයක් අරමුණු කරමින් පවතී.

මෙම අවස්ථාවේ අනුශය වශයෙන් පවතින අවිද්‍යාව නිසා සත්ත්වයා හට මතු භවයෙහි ආදීනවය වැසේ. අනුශය වශයෙන් පවත්නා තෘෂ්ණාව නිසා චිත්ත සන්තතිය කර්මයට අනුරූප පරිදි පැමිණිය යුතු අළුත් භවය දෙසට බර වේ. මෙසේ එම චිත්ත සන්තතිය අභිනව භවයට නැමී, බර වී සිටින විට, වර්ථමාන ශරීරය ඇසුරු කොට උපදිනා අවසාන සිත (චුති සිත) ඉපිද නිරුද්ධ වේ. එවිට එම සිත් වැලෙහි ඊළඟ සිත, එළඹ සිටියා වූ ආරම්මණය ම අරමුණු කොට, ඉපදිය යුතු අළුත් ස්ථානයෙහි, කර්මානුරූප පරිදි, එම කර්මය විපාකත්වයට පැමිණීම් වශයෙන් උපදින්නේ යඑම සිත (ප්‍රතිසන්ධි සිත) ඉපදීමෙන් සත්ත්වයා අභිනව භවයට පැමණියේ යැයි කියනු ලැබේ. ප්‍රතිසන්ධි සිත පහළ වීමත් සමග ම හෝ පහළ වීමෙන් පසු ක්‍රමයෙන්, කර්මයට හා සත්ත්ව ජාතියට අනුරූප ව අළුත් ශරීරයක් ද ඇති වේ. ඒ ශරීරය අතීත ජාතියේ ශරීරය හා සම්බන්ධයක් නැත. සිත පමණක් අතීත ජාතයෙහි සිත් පරම්පරාවට සම්බන්ධ ය. බාහිර ආරම්මණයක් නැති සෑම අවස්ථාවක දී ම ප්‍රතිසන්ධි සිත නැවත නැවත ඉපදීම් වශයෙන් භවය මුළුල්ලෙහි ම පවතින්නේ ය. චිත්ත පරම්පරාව නොසිඳී පැවැත්මට එය හේතු වේ. ප්‍රතිසන්ධි චිත්තයට සෑම අතින්ම සමාන වූ, නැවත නැවත පහළ වන්නා වූ එම සිතට භවාංග සිත කියනු ලැබේ. එය සත්ත්වයාගේ ප්‍රකෘති සිත ය. එම සිත ඇති බව දැන ගැනීම අපහසු ය.

ශරීරය පහළ වී, චක්ඛු, සෝත ආදී ඉන්ද්‍රියයන් හා රූප, ශබ්ද ආදී අරමුණු ගැටුණු කල්හි, කුසල හෝ අකුසල සංස්කාර හේතුවෙන් චක්ඛු, විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය ආදී විඤ්ඤාණයන් පහළ වේ. 

කුසල, අකුසල නැමති සංස්කාර නැතහොත් සත්ත්වයාගේ සිත අනාගත භවයකට නො පැමිණේ. එබැවින් කර්මය හේතුවෙන් සත්ත්වයා ඒ ඒ ජාති වලට පමුණුවනු ලැබේ යැයි කිව හැක. කර්මය ඇත ද, අවිද්‍යා, තෘෂ්ණා දෙක නැති විට සත්ත්වයා අළුත් භවයකට නොපැමිණේ. අවිද්‍යා, තෘෂ්ණා ප්‍රහාණය කළ රහතන් වහන්සේලා නැවත නූපදින්නේ මේ හේතුව නිසා ය. නැවත ඉපදීම (විඤ්ඤාණය අළුත් ශරීරයක බැස ගැනීම) සඳහා අවිද්‍යා, තෘෂ්ණා, කර්ම (සංස්කාර) යන තුන ම බලවත් හේතූන් ය. එයින් ද තෘෂ්ණා, කර්ම (සංස්කාර) වඩාත් ප්‍රධාන ය. විඤ්ඤාණය ඇති වීමට තෘෂ්ණාව ද බලවත් හේතුවක් වන නමුත්, එසේ දැක්වීමෙන් දේශනා ක්‍රමය අවුල් විය හැක. එබැවින් තථාගතයින් වහන්සේ මෙම පටිච්චසමුප්පාද දේශනයෙහි විඤ්ඤාණය ඇති වීමට හේතුව ලෙස සංඛාර පමණක් පෙන්වා දී තිබේ. තවත් පටිච්චසමුප්පාද දේශනාවක් වන ආර්යය සත්‍යය දේශනාවෙහි සත්ත්වයාගේ නැවත ඉපදීමේ හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ කර්මය නොව, තෘෂ්ණාව ය. මෙම ක්‍රම දෙක අවුල් කට නොගෙන, වෙනස් දේශනා ක්‍රම දෙකක් ලෙස සැළකිය යුතු ය.

මිනිසෙක් මැරී දෙව් ලොව ඉපදුන කල්හි, මිනිසාගේ ශරීරයෙන් කිසිවක් දෙවියාගේ ශරීරයට නොයයි. එබැවින් ඒ උපන්නේ මිනිසා බව කිව නොහැක. එහෙත් දෙවියාගේ ශරීරය ඇසුරු කරමින් පවතින්නේ, මිනිසාගේ ශරීරය ඇසුරු කරමින් පැවති සිත් පරම්පරාව ම බැවින්, දෙවියා සහ මිනිසා දෙදෙනෙක් බව ද කිව නොහැක.

සත්‍ය වශයෙන් සත්ත්වයා කියා දෙයක් නැත. ඇත්තේ නිරන්තරයෙන් ඉපදෙමින්, බිඳෙමින් පවතින නාම රූප පරම්පරාවකි. එබැවින් මනුෂ්‍යයෙකුගේ සන්තානය තුළ ඉපදීම පටන් මරණය දක්වා නොනැසී පවත්නා කිසිම දෙයක් නැත. මෙය නොදන්නා ලෝකයා විසින් සත්ත්වයෙකු ඇතැයි සළකනු ලැබේ. චිත්ත, චෛතසික පරම්පරාව හා රූප පරම්පරාව මිස සත්ත්වයෙක් කියා දෙයක් නැති බව තේරුම් ගත් විට, මැරී උපදින්නේ එම සත්ත්වයා ම ද, නැතහොත් වෙනත් සත්ත්වයෙක් ද, යන ප්‍රශ්නය මතු නොවේ.

 

[පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය, 33 – 45]

 

Further reading (download link):
පූජ්‍යය රේරුකානේ චන්දවිමල නාහිමි, පටිච්චසමුප්පාද විවරණය